විශේෂ අධ්‍යාපන ඒකකයක මතක සටහන්.
http://goo.gl/py8gbt
(කල්පිත සිදුවීම් මාලාවකි. නම් ගම් සියල්ල මන:කල්පිතයි. ජීවත්වන හෝ මියගිය කිසිම අයෙකුට සම්බන්ධතාවයක් නැත.)
ජනවාරි 6
අළුත් අවුරුද්දක අළුත් වාරයක් ඇරඹෙන මුල් දිනය. අද සිට අළුත් විශේෂාංගයක් ආරම්භ කරන්න සිතුවා. විශේෂ අධ්‍යාපන ඒකකයේ පරිගණක කුටියේ සිට ගෙනඑන මෙය ඉන් ඔබ්බටත් විහිදෙන්නට පුළුවන්, මොකද අප සියලු දෙනාම යම් කිසි සමාජයක කොටසක් නිසා. මේකේ ළමයින්, ඔවුන්ගේ දෙමව්පියන් හා ඥාති හිත මිතුරන්, ගුරුවරු වගේම තවත් බොහෝ පිරිස් ඉන්න පුළුවන්. අද නම් ඉන්නේ ළමයි තුන් දෙනයි. මුල් දවසේ කොහොමටත් එහෙම තමයි.
ජනවාරි 7
වාරය මුලදිම ලොකු රණ්ඩුවක්. නිශාදිගේ පැන්සල අරගෙන තුෂාරි දෙකට කඩලා. ඒකට ප්‍රතිචාර විදියට නිශාදි කරලා තියෙන්නේ තුෂාරිගෙ පැන්සල අරගෙන දෙකට කැඩීම. පොඩි ළමයි ඔහොම තමයි. ඒගොල්ලෝ හිතන්නේ වැරදි දෙකක් කරාම ඒක එක හරියක් බවට පත් වෙනවා කියලා. සමහර වැඩිහිටියනුත් හිතාගෙන ඉන්නේ එහෙම තමයි. ඒ නූගත් කම නිසා. මේ අතරෙම තවත් කපටි පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ උවමනාව තමයි තව කෙනෙකුට වැරැද්දක් කරන්න හේතුවක් හොයාගන්න තියෙන ඕනෑකම. මොකද සත්‍යය, යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනව කියන කෙනෙකුට හේතුවක් නැතුව තව කෙනෙකුට හානියක් කරන්න බෑනේ. ඒක හින්දා හේතුවක් හදාගන්න බලනවා. ඒත් ඒකෙන් රැවටෙන්නේ තමන්ම තමයි, හරියට තමන්ගෙම අත් දෙකෙන් තමන්ගෙම ඇස් වහගන්නව වගේ. තමන්ට පෙනුනෙ නැති වුනාට ඇත්ත මොකද්ද කියලා මුළු ලෝකෙටම පේනවා, මොකද අනිත් මිනිස්සු ඉන්නේ ඇස් ඇරගෙන නිසා. අද විනීතා මැඩම් ඇවිත් නැති නිසා නිශාදියි තුෂාරියි ගෙන්නලා මම ම අවවාද කළා. ඔවුන් දෙදෙනාම වැරැද්ද පිළිගත්තා. ඒත් මම අර මුලින් කිව්ව කපටි පිරිස කරන්නේ එක් කෙනෙක් කළ වැරද්දක් (සමහර විට වැරැද්දක් කරලම නැතුව ඇති) තවත් කෙනෙකුට වැරදි කරන්න ලයිසන් එකක් බවට පත් කර ගන්න එකයි. මොකද තමන් කරන බොරුව දිගටම කරගෙන යන්න තියන උවමනාව නැති කරගන්න බෑනේ!
ජනවාරි 8
අද නිශාදිගෙයි තුෂාරිගෙයි අම්මලා දෙන්නා රණ්ඩු කර ගත්තා. නිශාදිගේ අම්මා කියනවා මේකට දේවාලෙට යන්න ඕනේ කියලා. වෙච්ච දේ දෑසට පෙනෙන්න තියෙන කොට දේවාල ගානේ යන්නේ මොකටද? තමන්ගේ ඇස් දෙකට වැඩිය දෙයියො ද විශ්වාස? කපටි රැවටිලිකාරයන්ට ඒකත් හොද වැඩක් තමයි. ලේසියෙන් රවටන්න පුළුවන් අය ඉන්න නිසා ඒ වගේ අය දෙයියොත් විකුණගෙන කනවා. නිශාදිටයි තුෂාරිටයි දෙන්නටම ඊයේ වෙච්ච දේ අද අමතකයි, වෙනදා වගේම යාළු වෙලා ඉන්නවා. විනීතා මැඩම් නිශාදිටයි තුෂාරිටයි අලුත් පැන්සල් දෙකක් දුන්නා. නිශාදිගේ අම්මා දේවාලෙට ගියාද නැද්ද කියලා දැනගන්න වෙන්නේ හෙට උදේට තමයි. එයාම කිව්වොත් මිසක් ඒ ගැන අහන්න ඕන නැහැ. එහෙම කළොත් අපිත් ඒ අයගේ ගොඩටම වැටෙනවා.
ජනවාරි 9
නිමල් කතුර නැති කරගෙන. ඊයේ වගේ වැඩේ දුරදිග යන්න කලින් ඒකට විසඳුමක් සොයන්න හිතුවා. නැතිවුන කතුර වෙනුවට වෙනත් කතුරක් ගෙනත් දුන්නා. විසඳුම ඉතාම සරලයි. ඕන නම් කෙනෙකුට මේකට වෙනත් විසඳුමක් දෙන්නත් තිබුනා. මගේ විසඳුමට ගියේ විනාඩි 5ක් වැනි සුළු කාලයක් වුනත් තවත් කෙනෙකුට මේකට ඕන නම් විසඳුමක් නොදීම ඉන්නත් පුළුවන්. ප්‍රශ්නයක් වවාගෙන කන අයත් ඉන්නවා. හරියට කොටින්ගේ ප්රශ්නය වගේ. එක එක අය එක එක විසඳුම් දුන්නා. "ඔය ප්‍රශ්නෙ නම් කවදාවත් විසදෙන්න එපා." කියන කාලකන්නි පිරිසකුත් සිටියා. අදත් ඉන්නවා.
ජනවාරි 10
අද සිකුරාදා. ළමයි ඉන්නේ ටික දෙනයි. සඳුදා අළුත් පාඩමක් පටන්ගන්නයි හිතාගෙන ඉන්නේ. ඊට කලින් ළමයින්ගේ දැනුම හා වර්ධන මට්ටම අනුව අලුතින් වර්ග කරන්න ඕනේ. හැම ළමයටම හැම දේම කරන්න බැහැනේ. සමන් අද මට බැනලා තමයි පුටුවෙන් නැගිට්ටේ. අතත් දික් කරලා මට තරවටු කරලා මොනවද මුමුනලා එළියට ගියා. සමන් මේ අවුරුද්දේ අළුතින් ආපු ළමයෙක්. පොඩි කථන ආබාධයක් තියනවා. මම හිතන්නේ අද කරන්න දුන්නු දේ එයාට සංකීර්ණ වැඩියි. ඒකයි බැන්නේ, නැතුව කිසිම තරහකින් නෙවෙයි. අපිත් ආසයි හැම ළමයෙකුම ලියන්න කියන්න පුළුවන් කෙනෙක් කරන්න. ඒත් විශේෂ අධ්‍යාපන ඒකකයට ළමුන් ඇතුල් කරලා තියෙන්නේ ඔවුන්ගේ යම් විශේෂත්වයක්, නැතිනම් අඩුපාඩුවක් තියෙන නිසා. ඒක අපි තේරුම් අරන් තිබුනට සමහර ළමුන්ගේ දෙමව්පියන්ට තේරුම් ගන්න බැහැ. සමහර දේවල් දෙන්න අපි කොච්චර මහන්සි වුනත් ළමයාගේ කායික හෝ මානසික ඌනතා නිසා ඒවා ළමයාට ග්‍රහණය කරගන්න බැහැ.
ජනවාරි 13
අද නිශාදිගේ අම්මා මාව හම්බවෙන්න ආවා. මම හිතුවේ එදා සිද්ධිය ගැන වෙන්නැති කියලා. ඒත් ඒක වැරදියි. අද ප්රශ්නය මගේ පරිගණක පාඩමක් ගැන. එයා කියනවා වචන උච්චාරණය ගැන තියෙන පාඩම ඉවර නිසා අද ගණිත සංකල්ප ගැන තියෙන පාඩම කරන්නලු. අද කරන්න තියන පාඩම ගැන එයා දැනගත්තේ කොහොමද කියලා මම අහන්න ගියේ නෑ. ඒ වුනත් මම ඒ ගැන ලොකු මැඩම් ගෙන් ඇහුවා. එයා ළඟ නේ මගේ කාර්ය සාධනය තියෙන්නේ. මැඩම් ඒ ගැන මුකුත් කිව්වේ නැතිලු. විනීතා මැඩම් කියනවා වෙන ඉස්කෝලෙක උගන්නපු එකක් බලන් ඉඳලා කියන්නැති කියලා. ඒකත් ඇත්ත තමයි. එහෙම නැත්තං ඉතිං නිශාදිගේ අම්මට පරචිත්ත වඥානය තියෙන්න ඕන.
අද නිශාදිගේ අම්මා මාව හම්බවෙන්න ආවා. මම හිතුවේ එදා සිද්ධිය ගැන වෙන්නැති කියලා. ඒත් ඒක වැරදියි. අද ප්රශ්නය මගේ පරිගණක පාඩමක් ගැන. එයා කියනවා වචන උච්චාරණය ගැන තියෙන පාඩම ඉවර නිසා අද ගණිත සංකල්ප ගැන තියෙන පාඩම කරන්නලු. අද කරන්න තියන පාඩම ගැන එයා දැනගත්තේ කොහොමද කියලා මම අහන්න ගියේ නෑ. ඒ වුනත් මම ඒ ගැන ලොකු මැඩම් ගෙන් ඇහුවා. එයා ළඟ නේ මගේ කාර්ය සාධනය තියෙන්නේ. මැඩම් ඒ ගැන මුකුත් කිව්වේ නැතිලු. විනීතා මැඩම් කියනවා වෙන ඉස්කෝලෙක උගන්නපු එකක් බලන් ඉඳලා කියන්නැති කියලා. ඒකත් ඇත්ත තමයි. එහෙම නැත්තං ඉතිං නිශාදිගේ අම්මට පරචිත්ත වඥානය තියෙන්න ඕන.
ජනවාරි 16
අද විශේෂ අධ්‍යාපන වැඩමුළුවක් තියෙනවා ගුරු මධ්‍යස්ථානයේ. ඒක නිසා ඉස්කෝලෙට ගියේ නැහැ. බස් හෝල්ට් එකට ගිහින් ටික වෙලාවක් ඉන්නකොට බස් එකක් ආවා. තරමක් සෙනග හිටියත් එයින් ටික දෙනෙක් නග්ගගෙන බස් එක ඉක්මනින් ම ගිය නිසා නගින්න බැරිවුනා. දෙවැනි බස්එකට නැගලා ඉඩ තිබුණු ආසනයේ ඉඳගත්තා. ඉස්සරහ සීට් එකේ තරුණයෝ දෙන්නෙක් බර කතාවක්. අනුන්ගේ කතාවලට ඇහුන්කන් දීම හොඳ පුරුද්දක් නෙවෙයි තමයි. ඒත් ඉතින් කනට ඇහෙන දේ වලක්වන්න නම් නැගිටලා යන්න වෙනවා. එතකොට ඉතින් යන්න වෙන්නෙ හිටගෙන තමයි. තරුණයෝ දෙන්නා කියපු දේවල් සම්පූර්ණයෙන්ම ඇහුනේ නැති වුනත් තැනින් තැන ඇහුනා.
...දන්නවද ඕකට මම කීයක් දුන්නද කියලා? පන්දාහක් දුන්නා.
...මාත් දාහක් දෙන්නම්.
...ඥාණාට සල්ලි දීලා තියෙන්නේ.
...උන් අපිව රැවැට්ටුවා.
...දවසකට රුපියල් දෙසීයක් දෙනවා.
...වැඩිම වුනොත් සුමාන තුනක් ඉඳියි.
...ඇටෙන්ඩන්ට් කෙනෙක් අල්ල ගන්නයි තියෙන්නේ.
කතාවෙන් තේරුණ විදියට නම් මේ දෙන්නා සල්ලි එකතු කරනවා. මට හිතෙන්නේ ඉස්පිරිතාලේ නවත්තලා ඉන්න අමාරු ලෙඩෙක් බලන්න යන ගමන්. පිටින් ගේන්න කියන මිල වැඩි බෙහෙත් ගන්න සල්ලි හොයනවා වෙන්න ඇති. සමහර විට රස්සාවක් නැති නිසා සල්ලි නැතුව ඇති. අද කාලේ රස්සාවල් නැති තරුණයෝ බිලී බාගන්න කට්ටියක් ඉන්නවා. ලංකාවේ කීප වතාවක්ම ලේ වැගිරුනේ මේ නිසා තමයි. තරුණයෝ සත්‍යය, යුක්තිය වෙනුවෙන් කියලා සටන් කරලා වෙඩි කෑවා. ඒත් ඇත්තටම වුනේ වෙන දෙයක්. ඔවුන් මෙහෙයවපු නායකයින්ගේ අරමුණ වෙන එකක්. හුඟක් වෙලාවට බලකාමය නැතිනම් දේපල තන්හාව. තරුණයෝ මැරෙද්දී ඔවුන් ගතකළේ සුඛෝපභෝගී ජීවිතයක්. අන්තිමට ඔවුනුත් විනාශවෙලා ගියා. ඊළඟ පරම්පරාව ඇත්ත තේරුම් ගත්ත නිසා ආයේ ඒ පාරේ ගියේ නෑ. මේ සත්‍යය තේරුම් ගන්න කල් යනවා. අවුරුදු දහයකින් බැරිනම් විස්සක් නැත්නම් තිහක් විතර යන්නත් පුළුවන්.
ජනවාරි 17
අදත් සිකුරාදා දවසක්. ළමයි හිටියේ ටිකදෙනෙක් නිසා කලින්ම වැඩ ඉවර වුණා. නිකං ඉන්න කම්මැලි නිසා පරිගණකය නිවා දමා පොතක් කියවන්න හිතුනා. ඒක ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවක්. ඒකෙ නම ”The Adventure of the Red-Headed League”. විල්සන් කියන්නේ අසාමාන්‍ය කෙනෙක්. එයාගේ කොණ්ඩය රතු පාටයි. ඒක තමයි අසාමාන්‍යතාවය. එයාගේ උගස් සාප්පුවේ එයත් එක්ක එකට වැඩකරන සගයා පත්තරේක පළවෙච්ච දැන්වීමක් පෙන්නලා එයාට කියලා තියෙනවා ඒකට ඉල්ලුම් කරන්න කියලා. ඒකේ තිබිලා තියෙන්නේ රතු පාට කොණ්ඩේ තියෙන පිරිමි කෙනෙකුට විතරක් ඉල්ලුම් කරන්න කියලා අර්ධ කාලීන රස්සාවක්. විල්සන් ඒකට ඉල්ලුම් කරලා, තවත් රතු කොණ්ඩාකාරයොත් එක්ක පෝලිමේ ඉඳලා. අන්තිමට විල්සන්ව තමයි තෝරගෙන තියෙන්නේ, මොකද එයාගේ කොණ්ඩේ තරම් දීප්තිමත් රතු කොණ්ඩයක් එතන හිටපු කාටවත් තිබුනේ නැතිලු. ඉතින් රස්සාව භාරගත්තට පස්සේ එයාට සිදුවුනා සති ගණනක්ම සවස් වරුවේ එයාගේ උගස් සාප්පුව සගයාට බාර දීලා මෙතන වැඩ කරන්න. එයාට සතියකට පවුම් 380 බැගින් අති විශාල මුදලක් උපයාගන්න හැකිවුනා සති කිහිපයක් තුළ. ඔහුට ලැබී තිබුනේ ඉතාම සරල රාජකාරියක්. ඒ තමයි Encyclopedia Britannica විශ්වකෝෂය පිටපත් කිරීම. මෙච්චර ලොකු මුදලක් ලැබෙනකොට ඒකට හේතු අහන්නේ මොනවටද, නේද? එක දවසක් එයා යනකොට එතන දැන්වීමක් ගහලා තිබුනලු, “රතු කොණ්ඩාකරුවන්ගේ සංගමය විසුරුවා හරින ලදී.” කියලා. පස්සේ මේ ගැන හොයන්න ෂර්ලොක් හෝම්ස්ට බාර දුන්නම හොයාගෙන තිබුනේ පුදුම දෙයක්. උගස් සාප්පුවට යාබදව තිබිලා තියෙන්නේ බැංකුවක්. විල්සන් ගේ සගයා තවත් කට්ටියක් එක්ක උගස් සාප්පුව යටින් උමගක් හාරලා බැංකුවට ඇතුළුවෙලා බැංකුව කොල්ල කාලා. ඒක වසන් කරන්න තමයි දැන්වීමක් දාලා විල්සන්ට බොරු රස්සාවක් හොයලා දීලා එතැනින් පිටත් කරලා තියෙන්නේ, උමග හාරලා ඉවර වෙනකං. වැඩේ කරගත්තට පස්සේ විල්සන්ගෙන් වැඩක් නෑනේ. එයාට අලුතින් ලැබුණු රස්සාව නැතිවුණා. ඒත් හොරු ටිකට හිරේ යන්න වුණා. කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. කවුරු හරි අපිව බිස්නස් එකක් කරන්න පෙළඹෙවුවොත් ඒ අපිට ආදරේට නෙවෙයි, වෙනත් යටි අරඹුණක් හිතේ තියාගෙන. ඒ නිසා ඒ උගුල් වලට අසුවෙන්න හොඳ නැහැ. විල්සන් මේක ෂර්ලොක් හෝම්ස්ට බාරදෙයි කියලා ඔවුන් සිතුවේ නෑ. සිතුවා නම් අනිවාර්යයෙන්ම විල්සන්ව මරණවා.
ජනවාරි 22
අදත් පන්තියේ ලොකු කලබලයක්. ළමයිනුයි අම්මලයි දෙගොල්ලොම කලබල වෙලා. කලබලය ඇති කරලා තියෙන්නේ ලොකු මීයෙක්. මං හිතන්නේ ඒ ඌරු මීයෙක්. මීයෙක් පන්තියේ දුවන්න ගත්තම වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කට්ටියගේ කලබලය නිසාම මීයා හොඳටම බයවෙලා. කලබලය අස්සෙම මීයා පන්තියෙන් එළියට පැනලා නොපෙනී ගියා. මීයෝ ගැන කතා කරන කොට එක එක ජාතියේ මීයෝ මතක්වෙනවා. පරිගණක කාමරයෙත් මීයෙක් ඉන්නවා. ඌව පෙන්නන්න විනීතා මැඩම්ට කතා කළාට එයා ආවේ නෑ බයට. මේ මීයට බයවෙන්න දෙයක් නෑ. මූ තමයි Computer Mouse. සිංහලෙන් කියන්නේ “මූසිකය” කියලා. මෙය භාවිතා කරන්නේ පරිගණකයට යමක් ඇතුළත් කිරීමටයි. එනම් Input Device එකක්. පරිගණකය භාවිතා කිරීමේදී මෙය අත්‍යවශ්‍ය උපාංගයක්. මෙයින් බොහෝ දේ කළ හැකියි. පරිගණකය හසුරුවන්න තමයි මෙය භාවිතා කරන්නේ. මෙයට හරියට හුරු වුනොත් හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒත් සමහර විශේෂ ළමයි ඉන්නවා මේක හරියට හසුරුවන්න බැරි. අවුරුදු ගාණක් පුරුදු කරත් වැඩක් නැහැ. එහෙම වෙන්නේ ඒ අයගේ චාලක දුර්වලතා නිසා. සාමාන්‍ය ළමයෙක් නම් ඉතාම ඉක්මනටම හුරු වෙනවා. මේක හරියට හසුරුවන්න බැරි බොහෝ දෙනාට පැන්සල හොඳට හුරුයි. පැන්සලෙන් ලියන්න, චිත්‍ර අඳින්න, පාට කරන්න පුළුවන්. ඒත් ඒ අයට මවුස් එකෙන් ඒ දේවල් කරන්න අමාරුයි. මවුස් එක කියන්නේ අකුරු ලියන්නවත්, චිත්‍ර අඳින්නවත්, පාට කරන්නවත් හදපු උපකරණයක් නෙවෙයි. මවුස් එකෙන් ඒ දේවල් කරන්න පුඵවන් දක්ෂයින්ට විතරයි. ඒවාටම හදපු පරිගණක උපාංගත් තියෙනවා. ඒ තමයි Drawing Tablets, Touch Screen Monitors (ස්පර්ශ සංවේදී තිර) වගේ උපකරණ. ඒවා මිලෙන් අධිකයි. එක්කෝ එයින් එකක් කවුරුහරි පරිත්‍යාග කරන්න ඕනේ. එතකොට පැන්සලෙන්, පැස්ටල් කූරෙන් ලියනවට අඳිනවට වැඩිය හොඳට ළමයි ඒ දේවල් කරයි. ස්පර්ශ සංවේදී තිරයක් තියනව නම් ඇඟිල්ලෙන් අකුරු ලියන්න, චිත්‍ර පාට කරන්න පුළුවන්. ළමයිනුන් හරිම ආසාවෙන් අකුරු ලියාවි, පාට කරාවි. එතකොට සමහර අම්මලයි මැඩම්ලයි හැමදාම උදේට බ්‍රේල් ක්‍රමයටයි, සංඥා භාෂාවෙනුයි, හස්ත මුද්රාවෙනුයි කරන හරඹය තවත් කරන්න ඕන වෙන එකක් නැහැ.
ජනවාරි 27
විනීතා මැඩම්ගේ ජංගම දුරකථනය නාද වෙනවා. එයා ඒක මේසේ උඩ දාලා වැසිකිලියට ගිහින්. ඒක වැසිකිලිය ළඟට ගිහින් දෙන්න පුළුවන් වුනත් කරන්න ගිය වැඩේට බාධා කරන එක ශිෂ්ඨ සම්පන්න නැහැ. ඒක නිසා එයා එනකම් ඒක නාද වුනාවේ. ළමයිනුත් පන්තියේ නැති නිසා කමක් නැහැ. අද ජංගම දුරකථනය අපට නැතිවම බැරි උපකරණයක් වෙලා. ඒත් සමහරු ඒක භාවිතා කරන්නේ හොඳ දෙයක් කරන්න නෙවෙයි. බොහෝ සැලසුම් සහගත අපරාධවලට පාවිච්චි කරන්නේ ජංගම දුරකථනය. තමන්ට හොඳින් දෙයක් කරගන්න බැරිවුණාම සමහරු කරන්නේ දුරකථනයෙන් තර්ජනය කරලා බලහත්කාරයෙන් ඒක කරගන්න බලන එක. විශේෂයෙන්ම මේකට ඉලක්කය වෙන්නේ ගැහැණු අය. දුරකථන ඇමතුම් හෝ SMS මගින් කාන්තාවන්ට බලපෑම් කරන කොන්ද පණ නැති නිවටයින්ව හඳුන්වන්න පාවිච්චි කරන්න පුළුවන් වචනයක් පොදු ජනවහරේ තියෙනවා. ඒත් ඒක මෙතන සඳහන් කරන්න ශිෂ්ට මදි. තමන්ට කරගන්න ඕන දේ සාධාරණ, යුක්ති සහගත දෙයක් නම් ඇයි ඒක කෙළින් ඇවිත් කියන්න බැරි, ගෑණුන්ගේ සාරිපොටවල්වල එල්ලෙන්නේ නැතුව?
ජනවාරි 28
පන්තියේ ළමයි තුන්දෙනෙකුට අද දඬුවම් කරන්න සිද්ධ වුණා, පන්තියේ අවිනීතව හැසිරීම නිසා. අහළ පහළ පන්තිවල ළමයිටත් වැඩක් කරගන්න බෑ. ළමයින් බොහෝ වෙලාවට අනුකරණය කරන්නේ වැඩිහිටියන්ව. ඒක නිසා ගුරුවරු ආදර්ශමත් වෙලා ඉන්න ඕනේ. ළමයි ඉදිරියේ වැරදි විදියට හැසිරෙන ගුරුවරයෙකුට ළමයෙකුට විනීතව හැසිරෙන්න කියලා අණ කරන්න බැහැ, එහෙම කරන්නෙත් නැහැ .ඒක හරියට ඇදේට යන කකුළුවෙක් පැටවුන්ට කෙළින් යන්න කියනව වගේ වැඩක්. පොඩි කාලේ කරපු දඟ වැඩ ලොකු වුනාමත්, විශේෂයෙන්ම ළමයි ඉදිරියේදී කළොත් වෙන්නේ අවඥාවට ලක්වන්නට සිදුවීම. පන්ති කාමරයේදී ගුරුවරයාගේ හැසිරීම ළමයාගේ දැඩි නිරීක්ෂණයට ලක්වෙනවා. ඔවුන් ඒ අනුව තමයි තම හැසිරීම් රටාව ගොඩනගාගන්නේ. ඒක නිසා හැසිරීම පාලනය කරගන්නම බැරිවුනොත් ඒ වෙලාවට ගුරු විවේකාගාරයට යන එක තමයි හොඳම වැඩේ. පන්ති කාමරය ගුරු විවේකාගාරයක් වෙන්නේ ළමයි නැති වෙලාවට විතරයි. ඒත් ඉතින් ගෙදර ගිහින් කොහොම හැසිරුනත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් කවුරුහරි ගෙදර තිබෙන දොරේ යතුරු හිලෙන් හොරෙන් බලලා පොලීසියට කෝල් කරලා කිව්වොත් ගේ ඇතුළේ අසභ්‍යව හැසිරෙනවා කියලා ඒකට කරන්න දේකුත් නැහැ. අර ඊයේ කිව්වා වගේ එහෙම වැඩ කරන කොටසකුත් ඉන්නවා.
පෙබරවාරි 10
හුඟ දවසකින් අළුතින් යමක් ලියන්න බැරිවුණා. ලයිට් බිල අසාමාන්‍ය ලෙස වැඩිවෙලා. මේ වැඩේට සාමාන්‍ය කාලයට අමතරව වෙලාවක් ගත්තේ නැහැ. ළමයි අඩු දවසට වෙලාව ඉතුරු වුනාම විතරයි “මතක සටහන්” ලියන්න අන්තර්ජාලයට සම්බන්ධ වුනේ. අන්තර්ජාලය පාවිච්චි කරන ඕන කෙනෙක් දන්නවා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න යන වියදම ගෙවන්න ඕනේ අදාල දුරකථන සමාගමට මිසක් විදුලිබල මණ්ඩලයට නෙවෙයි කියලා. ඉස්කෝලෙට දුරකථන සම්බන්ධතා නැති නිසා ඒක ගෙව්වෙ මගේ අතින්. ඒත් ඒකත් ගෙවන්න ඕනේ ලයිට් බිලටමයි කියලා හිතන පිරිසකුත් ඉන්න බැරිකමක් නැහැ. එහෙම කෙනෙක් ගිහින් ලයිට් මීටරයට කිව්වද දන්නෙ නෑ වෙනදාට වඩා වේගයෙන් කැරකෙන්න කියලා!. කොහොම වුණත් දැන් මේ වැඩේ කරන්නේ ගෙදර ඉඳන්.
පෙබරවාරි 15
අද සෙනසුරාදා. විශේෂ අධ්‍යාපන ඒකකයක වැඩ කරන ගුරුවරයෙක් අද හවස මාව හම්බවෙන්න එනවා කිව්වා. දැන් රෑ වෙන්නත් ළඟයි. තාම නැහැ. අද එන්නෙ නැති පාටයි. ඔහුගේ දුරකථන අංකය නැති නිසා අහල බලන්න විදියකුත් නැහැ. ඒත් මොකද්ද මේ පාර දිහාවෙන් ඇහෙන ගාලගෝට්ටිය? මොකක් හරි රණ්ඩුවක්. තරමක් අඳුර වැටීගෙන එන නිසා ඉන්න අය හරිහැටි අඳුරගන්න බැහැ. දෙන්නෙක් නම් කොල්ලෝ. අනෙක් දෙන්නා මැදිවියේ පුද්ගලයෝ. ඔවුන් හතරදෙනාම කතා කරන්නේ ඉනේ අත් දෙක ගහගෙන ඉන්න මහත මිනිහෙකුට, හරියට ප්රභාකරන් වගේ. වේගවත් වචන හුවමාරුවක් සිදුවුණා.
^^^ මොකද්ද මේ වැඩේ තේරුම. වැඩේ කෙරෙන්නේ නැද්ද? රස්සාවල් නැති අය ගොඩක් බලාගෙන ඉන්නවා.
*** ටිකක් ඉවසලා ඉන්නවා.
^^^ කොච්චර කල් ඉවසන්නද? කී පාරක් අපෙන් සල්ලි ගත්තද?
*** මම බලෙන් සල්ලි ගත්තේ නැහැ, තමුසෙලා කැමැත්තෙන්නේ දුන්නේ. මම තමුසෙලට කිව්වනේ තමුසෙලාගෙන් කෙරෙන්න ඕන දේ.
^^^ ඒක කරන්න අමාරුයිනේ, අයියේ. මුලදී නම් අපි හිතුවේ වැඩිම උනොත් සුමාන තුනක් ඉඳලා රස්සාව අතෑරලා යයි කියලා.
*** කරන්න බැරිනම් නිකම් ඉන්නවා ආයේ මේ පැත්ත පළාතේ එන්න එපා. තමුසෙලාගේ සල්ලි දැන් මං ළඟ නෑ.
තවත් ටික වෙලාවක් වාද කරලා හතරදෙනාම යන්න ගියා. මට තේරුණ විදියට අර මහත මිනිහා මේ හතරදෙනාගෙන් සල්ලි අරන්, මොකක් හරි බිස්නස් එකකට සම්බන්ධ කරගන්න පොරොන්දු වෙලා. ඒත් දැන් ඒක කෙරෙන්නෙ නැති පාටයි. මේ වගේ රැවටිලිකාර වැඩ නිතරම අහන්න ලැබෙනවා. සමහරු පිරමිඩ ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් තියන සල්ලි නැතිකරගන්නවා. සමහර රැවටිලිකාරයෝ සල්ලි ගන්නේ ලොතරැයි දිනුමක් ඇදුනා කියලා බොරු SMS යවලා. අන්තර්ජාලයෙන් මාසෙකට ලක්ෂ ගණන් උපයන්න පුළුවන්ය කියලා සමහරු සුද්දව විකුණලා අපේ මෝඩයන්ගේ සල්ලි සූරාගෙන කනවා. අවංකව බිස්නස් කරන කෙනෙකුට සුද්දා වුනත් රට ජාතිය බලන්නෙ නැතිව උදව් කරනවා විදේශ විනිමය ලබා දෙන්න. අපේ රටේ ඉන්න හොරු කරන්නේ, රටේ තියෙන සල්ලි කොල්ල කාලා කෝටි ගණන් විදේශ බැංකුවල තැන්පත් කරන එක. මෙහෙම අයට කියන්නේ ජාති-දේශ ද්‍රෝහියෝ කියලා. කියන්නෙනම් යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. ඒත් පෙනී සිටින්නේ ඒ අය වගේම හොරුන්ගේ බොරුකාරයින්ගේ යුක්තිය, සාධාරණය වෙනුවෙන්. ඕන බිස්නස් එකක් කරන්න පුළුවන් හරි විදියට කළොත්. දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග.
පෙබරවාරි 19
කුමාරයි නිමලුයි තරහ වෙලා. වෙනදා නම් දෙන්නා හොඳ යාළුවෝ. හේතුව මොකද්ද කියලා ඇහුවට කියන්නේ නෑ. නිමල්ගේ කතුර නැතිවුනාට පස්සේ ඊට වඩා හොඳ වර්ගයේ කතුරක් ලබා දුන්න එක ගැන කුමාර පහුගිය දවස් ටිකේම හිටියේ එතරම් හිත හොඳකින් නෙවයි. හැම වෙලාවෙම මොකක් හරි හේතුවක් හොයාගෙන තරහ වෙන්න බලනවා. සමහර වැඩිහිටියන්ටත් තියෙන්නේ මේ වගේ ගති ගුණ. තව කෙනෙකුට හොඳක්, ලාභයක් වෙනවට කැමති නැහැ. ලාභයක් වුනොත් ලාභය නැතිකරන්න ඊට වඩා වැඩි පාඩුවක් කරන්න බලනවා. රස්සාවක්, බිස්නස් එකක් කරනව නම් ඒක නැති කරන්න බලනවා. ඒකට බොරු හේතු හදාගන්නවා. දියුණු වෙනවට කැමති නැහැ. සමහරු මෙහෙම කරන්නේ ඊර්ෂ්‍යාව නිසා. ඒත් ඊට වෙනස් අරමුණකින් මේ වගේ දේවල් කරන අයත් ඉන්නවා. ඒ අය රැවුලට ගිනි ගන්නකං බලන් ඉන්නේ සුරුට්ටු පත්තු කරගන්න. මේ වගේ වෙලාවක මේ අය ඇවිත් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න යෝජනා කරන්න පුළුවන්. සැබෑ අරමුණ වෙන එකක්. මතකයි නේ විල්සන්ගේ කතාව. ඇත්තටම බිස්නස් කරන්න දන්න කෙනෙක් නම් කරන්නේ ඉස්සෙල්ලා කෙනෙක්ට ලාභයක් කරලා ඊට පස්සේ තමන්ගේ ගණුදෙනුව කතා කරන එක. ඒකයි නොමිලේ කැලැන්ඩර්, දිනපොත් වගේ දේවල් දෙන්නේ.
පෙබරවාරි 22
පාර පැත්තෙන් ගිය සතියේ ඇහුණු ගාලගෝට්ටිය අදත් ඇහෙනවා. වෙනසකට තියෙන්නේ වැඩිපුර කෑගහන්නේ ඉනේ අත් දෙක ගහගෙන ඉන්න අර මහත මිනිහා. එදා ආපු අය හතර දෙනාමයි අදත් ඇවිත් ඉන්නේ. වෙනසකට තියෙන්නේ අද ඒ අය එදා තරම් හයියෙන් කෑගහන්නෙ නෑ. ඔවුන් කියපු දේ පැහැදිලිව ඇහුනේ නැති වුනත් මහත මිනිහා කියපු දේවල් නම් හොඳින් ඇහුණා.
*** මොකද යකෝ උඹලා භූමිතෙල් ගාගත්ත ගැරඬි වගේ දඟලන්නේ?
^^^ .........................................................................................................
*** මොංගල් ළමයිට නේ උගන්නන්නේ? ඌටම එපා වෙලා යයි. බය නැතුව ඉන්නවා.
^^^ ..............................................................................................................
*** හේතු නැත්තං හේතු හදාගනිං. කොම්පියුටර් වැඩෙන්ම තමයි ගේම දෙන්න ඕන. මුල ඉඳලම අල්ලලා ගියේ ඒකනේ.
^^^ .......................................................................................................
*** හරි හරි පලයං. සල්ලි අරං වරෙං.
සමහරු විශේෂ අධ්‍යාපන ඒකකයක ඉගෙනුම ලබන ළමුන් හඳුන්වන්නට යොදන ‘මොංගල්’ යන වදන එතරම් ශිෂ්ට සම්පන්න එකක් නෙවෙයි. ඒක හදාගෙන තියෙන්නේ Mongolism කියන ඉංග්‍රීසි වචනයෙන්. එහි තේරුම ‘මානසික වර්ධනයේ ඌණතාවක් ඇති” යන්නයි. එම ඉංග්‍රීසි වචනයත් දැන් අභාවයට ගිහින්. දැන් භාවිතා කරන වචනය තමයි ඩවුන් සින්ඩ්‍රෝම් (Down Syndrome) කියන එක. විශේෂ අධ්‍යාපන ඒකකවල සිටින සමහර ළමුන්ට විතරයි මෙම රෝගී තත්ත්වය තිබෙන්නේ. ඔවුන්ගේ මුහුණේ හා ඇස්වල හැඩයෙන් මේ බව හඳුනාගන්න පුළුවන්. හුඟක් ළමුන්ට මේ රෝගී තත්ත්වය නැහැ, ඉගෙනීමේ දුර්වලතා විතරයි තියෙන්නේ. මෙවැනි ළමයින් සම්බන්ධයෙන් නූගත් මිනිසුන් තුළ තිබෙන ආකල්ප නිසයි එවැනි වචනයක් භාවිතා කරන්නේ. සමහරු හිතන් ඉන්නේ එවැනි ළමුන්ට උගන්වන ගුරුවරුන්ටත් එම රෝගී තත්ත්වයන්ම තිබෙනවා කියලයි. එම වැරදි ආකල්පය නිසා එවැනි ගුරුවරුනුත් බ්‍රේල් ක්‍රමය, සංඥා භාෂාව, හස්ත මුද්‍රාව වැනි ක්‍රමවලින් අදහස් ප්‍රකාශ කරනවා කියලයි ඔවුන් හිතන්නේ. නැතිනම් එවැනි ක්‍රම වලින් ඔවුන් සන්නිවේදනය කරනවා යන වැරදි ආකල්පයක් අනුන් තුළ ගොඩ නැගීමට උත්සාහ කරනවා. සමහර කපටි පිරිස් තමන්ගේ වාසියට එවැනි ආකල්පයක් මවනවා වන්නට පුළුවන්. ඒත් ඒවට රැවටෙන කෙනෙක් නැහැ. රැවටෙන්නේ ඒ කපටින්මයි. ඔවුන් ඔවුන්වම රවටා ගන්නවා. ඒත් ලෝකේ මොලේ තියෙන අනිත් මිනිස්සු ඇත්ත දකිනවා.
පෙබරවාරි 25
අද ඉස්කෝලෙදි නම් කිසිම විශේෂ සිද්ධියක් වුනේ නැහැ. හැමදාම සුපුරුදු දේවල් තමයි සිද්ධ වුනේ. ගෙදර ගිහින් සවස් වරුවේ විශේෂ අධ්‍යාපනයට සම්බන්ධ වෙබ් අඩවි කිහිපයක සැරිසැරුවා. ඒකත් වැඩි වෙලාවක් කරන්න ලැබුනේ නැහැ. නිවසේ සීනුව නාද වුණා. මැදිවියේ පිරිමි කෙනෙක් ඇවිත් හිටියා. ඔහු මා මීට කළින් දැක පුරුදු කෙනෙක් නෙවෙයි.
+++ මේ ගොඩනැගිල්ල කුලියට දෙනවද? සිල්වා මහත්තයා තමයි කිව්වේ ගිහින් කතාකරන්න කියලා.
=== කවුද සිල්වා?
+++ අර හෝටලේ වැඩකරන්නේ.
=== මේක දැන් ගෙයක් හැටියට පාවිච්චි කරන්නේ. කුලියට දෙන්න විධියක් නෑ.
+++ ඉස්සර දීලා තිබුණනේ.
=== ඉස්සර දුන්නට දැන් දෙන්නෙ නෑ.
+++ අපිට බිස්නස් එකකට මේක ඕන.
=== ඇයි කඩේ තියෙන්නේ?
+++ එතන ඉඩ මදි. මේක කීප දෙනෙක් හවුල් වෙලා කරන්න යන වැඩක්.
=== මේක ගෙයක්. බිස්නස් කරන තැනක් නෙවෙයි. කරුණාකරලා වෙන තැනක් බලන්න.
+++ යන්නං.
ඔහු පිටත්වී ගියේ එතරම් හිත හොඳකින් නෙවෙයි. ඒත් ඉතින් මොනවා කරන්නද? මේ ගැන විමසූ පළමු පුද්ගලයාත් ඔහු නෙවෙයි. එක් එක් අයගේ උවමනාවට කිහිප දෙනෙක් ම ආවා. දිගටම කරදර කරන්න ආවොත් දැන්වීමක් ගහන්න වෙනවා. “දෙමහල් ගොඩනැගිල්ල කුලියට/බද්දට දෙනු නොලැබේ.” කියලා. මේ අයට මේ වැඩේට වෙන තැනක් ඇත්තෙම නැද්ද? අහල පහල බැංකුවත්වත් තිබුණානම් ඔන්න හිතන්න තිබුනා, යටින් හාරලා ඒකටවත් ඇතුලුවෙන්න වෙන්නැති කියලා. ඒත් ඉතිං එහෙම එකක් ළඟ පාතක නෑනේ.
පෙබරවාරි 28
තුසිතගේ අම්මා අහනවා එයාගේ පුතාව පරිගණක කාමරයට ගන්නේ නැත්තේ ඇයි කියලා. එයාවත් ගන්නවා, ඒත් ටිකකින් නැගිටලා යනවා. එයාගේ මානසික වර්ධනය තවම ළදරු මට්ටමක පවතින්නේ. යම් දෙයක් කෙරෙහි අවධානය යොමුකරන්න බැහැ. මගේ මුහුණ දිහා බලාගෙන ඉන්නවා මිසක් කිසිවක් කරන්නේ නැහැ. පුටුවට අල්ලලා බැඳලා තිබ්බොත් නම් ඉඳියි. සමහර ළමයි ඉන්නවා මවුස් එක එහා මෙහා කරන්න විතරයි පුළුවන්. තවත් සමහර අයට ඊට අමතරව ක්ලික් කරන්නත් පුළුවන්, ඊට වඩා දෙයක් බැහැ. ඒවගේ අයටත් කරන්න පුළුවන් පරිගණක වැඩසටහන් නිර්මාණය කර තිබෙනවා. මවුස් එක එහා මෙහා කරන විට හරි ක්ලික් කරන විට හරි චිත්‍රයක් පාටවෙන, පින්තූරයක් නිර්මාණය වන, නැත්නම් සැඟවුණ වස්තුවක් නිරාවරණය වනසේ සකස් කළ වැඩසටහන් තිබෙනවා. මේවායේ පාට, රූප වැඩියි. ඒ ළමයාගේ අවධානය යොමු කරවා ගන්න. අපේ උත්සාහය හැම ළමයාවම සහභාගි කරවාගන්න. වැඩ බැරි අය කියා කොටසක් කොන් කර දමන එක වැරදියි.
මාර්තු 01
අද දවසම විශේෂ අධ්‍යාපන වෘත්තිකයන් ගැන ලියවුණු පොතක් කියෙව්වා වැදගත් උපදෙස් රාශියක්ම තිබුණා. ඒත් ඒවා බොහොමයක් ලංකාවේ විශේෂ අධ්‍යාපන ඒකකවල ක්‍රියාත්මක කරන්න බැහැ. තවමත් ලංකාවේ මිනිස්සු ඒ මට්ටමට ඇවිල්ලා නැහැ. පොත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරන්න කළින් ඒකට බාධා වුණා. සුපුරුදු ගාලගෝට්ටිය අදත් ඇහෙනවා. අර හතරදෙනා ඇවිල්ලා. සතිපතා සමාලෝචන රැස්වීම පවත්වන්න වගේ. මහත මිනිහා අත් දෙක ඉනේ ගහගෙන ඉන්නවා.
*** මොකද වුනේ?
^^^ තාම හරිගියේ නෑනේ.
*** උඹලට අල බහිනකං ඉවසන්න පුළුවන්. තැම්බෙනකං තමයි ඉවසන්න බැරි, නේද?
^^^ හරියටම කෙරෙනවනං ඉතිං තව අවුරුදු දහයක් හරි බලන් ඉන්න පුළුවන්.
*** සල්ලි අරං ආවද?
^^^ අද නං ගෙනාවෙ නෑ.
*** මේව නිකං කරන්න බෑ. පොඩ්ඩ වැරදුනොත් ඔක්කොම අමාරුවේ.
හතර දෙනාම යන්න ගියා. යන අතරෙත් වාද කරනවා, එකිනෙකාට බැනගන්නවා. ඊළඟට ඒ හතරදෙනා මරාගනියි ද දන්නෙ නෑ. ආයෙත් නම් මහත මිනිහා හම්බ වෙන්න එන්නෙ නැතිවෙයි වගේ. ඒතරම්ම කළකිරීමෙන් ගියේ. හැමදාමත් සල්ලි දෙන්න බැරුව ඇති. අරගන්න සල්ලි වලට කරන දේ ගැන නම් කවුරුවත්ම එක දවසකවත් කථා කළේ නෑ.
මාර්තු 05
අද පන්තියේ වැඩක් කරන්න වුනේ නෑ. වසන්තගේ තාත්තා මැරිලා. ළමයිනුයි, ගුරුවරුයි හැමෝම මළ ගෙදර ගියා. අධික බීමත් කම නිසා මරණය සිද්ධ වුණ බවයි ආරංචි වුනේ. සමහරු වැළපෙන්න ගත්තා. මළ ගෙදර ඇවිත් හිටිය එක එක අය එක එක අදහස් ප්‍රකාශ කළා.
*** බිව්වෙ නැත්තං තව අවුරුදු දහයක් ජීවත් වෙන්න තිබුණා.
^^^ මරණය ගැන මුළු ගමම කැළඹිලා.
^^^ ළඟ ළඟ වෙච්ච අටවෙනි මළ ගේ මේක. මම මළ ගෙවල් ගණන් කළා.
^^^ ඉස්පිරිතාලෙදී මැරිලා තියෙන්නේ. මිණිය ගෙනාවේ ඊයේ රෑ.
සාමාන්‍යයෙන් වෙසක් එකට තොරණ් ගණන් කරනවා. ඒත් මළ ගෙවල් ගණන් කරන බව අහපු පළවෙනි වතාව මේක. මළමිණිය පවා විකුණගෙන කන්න පුළුවන් නම් ඒකත් කරන අය අද සමාජයේ ඉන්නවා. මරණය කියන දේ කාටත් පොදුයි. වෙනසකට තියෙන්නේ ඒක සිදුවෙන දවස. සමහරු ස්වාභාවිකව මැරෙනවා. සමහරු අස්වාභාවිකව මැරෙනවා, නැත්නම් මරණවා. මැරෙන්න කළින් මරන්නේ වෙනත් පෞද්ගලික උවමනාකම්වලට. දේපල තන්හාව නැත්නම් බල කාමය තමයි මේකට බොහෝවිට හේතුවෙන්නේ. සමහරු කෙළින්ම මරණවා, සමහරු හැංගිලා ඉඳන් මරණවා. කොහොම මැරුවත්, ඒක මොනම අන්දමකින්වත් සාධාරණීකරණය කරන්න බැහැ.ඔවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. එවැනි අයට අනුබල දෙන කෙනෙක් ඉන්නවනම් ඒ අය කරන්නෙත් බරපතල වරදක්. මොවුන් බය නැතුව මිනීමරන්න පෙළඹෙන්නේ එවන් අඥාණ උදවිය නිසයි. මිනීමරන්න අනුබල දීලා රටේ තියෙන හැම සිද්ධස්ථානයක්ම වැන්දත් වැඩක් නැහැ. බොරු නොකර ගෙදර ඉන්න එක ඊට වඩා නම්බුකාරයි.
මාර්තු 08
අද සෙනසුරාදා. කරන්න වැඩ ගොඩක් තියෙනවා. අද නම් කරදරයක් නැතුව වැඩක් කරගන්න පුළුවන් වෙයි. ගිය සතියේ හතරදෙනා ගිය විදියට නම් ආයෙත් එන්නේ නෑ. ළමයින්ට කරන්න අළුතින් වැඩසටහන් අවශ්‍යයි. එකම වැඩසටහන හැමදාම කරන කොට ඒක ළමයටත් එපා වෙනවා. ළමයත් ඉක්මනින්ම නැගිටලා යනවා. ඒක නිසා නිතරම අළුතින් වැඩසටහන් ලබා දෙන්න ඕන. අන්තර්ජාලය තමයි ඒකට පිහිට වෙන්නේ. අන්තර්ජාලයේ අනිටු ප්‍රතිඵල ගැන කවුරු මොනවා කීවත් එහි හොඳ අංග ඊට වඩා වැඩියි. අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගන්න පුළුවන් වැඩසටහන් බොහොමයක් තිබෙනවා. තරමක උත්සාහයකින් පසු වටිනා වැඩසටහන් කිහිපයක්ම බාගත කරගන්න පුළුවන් වුණා. ඉතුරු ටික සම්පූර්ණ වෙන්න තව ටික වෙලාවක් ගත වෙනවා. පාරේ වාහන ගමන් කරනවා පේනවා. මිනිස්සු පයින් ඇවිදගෙන යනවා. ඈතින් කිහිපදෙනෙක් එනවා පේනවා. මොනවා? අර හතරදෙනා නේද අදත් එන්නේ? ඇවිත් නතර වුණා. එක් කෙනෙක් ජංගම දුරකථනය අරන් කතා කරනවා. ටික වෙලාවකින් මහත මිනිහා ආවා. ඇවිල්ලා අත් දෙක ඉනේ ගහගත්තා.
*** උඹලා ආවද? මන් දන්නවා තරහවෙලා ගියාට ආයෙත් එනවා කියලා. කෝ සල්ලි ගෙනාවද?
^^^ මේ දවස්වල සල්ලි අමාරුයි, අයියා. අපි ණයට කරමු.
*** මොකක්?
^^^ වැඩේ හරිගියාම සල්ලි ගෙවන්නම්.
*** මොන වැඩේද?
^^^ නිධානේ ගොඩදාගමු. එතකොට අපි හැමෝගෙම පරම්පරාවම ගොඩ.
*** යකෝ, වෙන නිධානයක් ඕන නෑ. මේ දේපලම නිධානයක් තමයි. ඒක අපේ අතට ගත්තම අපිට ඕන විදියට වැඩ කරන්න පුළුවන්. උඹල ගෙවපු සල්ලි වලට හරියන්න ලාබ බෙදලා දෙනවා. බිස්නස් එකට හවුල් කර ගන්නවා, තේරුණාද?
^^^ හරි ඉතින් දැන් මොකද්ද වෙන්න ඕන?
*** උඹලට තේරෙනවනේ ඔය රස්සාව තියනකං බිස්නස් පටන්ගන්නෙ නැති විත්තිය. උගන්නන දේවල්වල වැරැද්දක්ම හොයලා ගේම දෙන්න තියෙන්නේ.
^^^ හරි, හරි ඊළඟ සතියේ අපි අනිවාර්යයෙන්ම සල්ලි අරන් එන්නම්.
*** අන්න එහෙම වරෙන්.
කට්ටියම යන්න ගියා. දැන් නම් මේක හරියට රහස් පරීක්ෂක කතාවක් වගේ. නිධනෙකුත් ගොඩ දාන කතාවක් කියවුණා. ඊළඟට තුන් කුළුඳුල් බිල්ලක් හොයන්න කතා වෙයිද දන්නෑ. මේ අය කතා කරන්නේ යම් කිසි දෙයක් හංගලා. ඒ මොකද්ද කියලා මෙහෙම තැනක කතාවෙන්න බැරුව ඇති. කතාවේ ඉතුරු හරිය දැනගන්න ඊළඟ සතිය වෙනකම් ඉවසන්න වෙනවා. සත්‍යය, ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි කියන්නේ නිකං නෙවෙයි.
මාර්තු 13
අද ළමයින්ට නැටුම් පන්තියක් පැවැත්වුණා. නැටුම් ගුරුවරියක් අද සිට සතියට වරක් පැමිණෙනවා. චාලක කුසලතා අඩු විශේෂ දරුවන්ට නැටුම් මගින් ලැබෙන්නේ විශාල පිටුවහලක්. නිශාදි ලස්සනට නටනවා. එයා නැටුමට කවදත් දක්ෂයි. සමහරු තමන්ගේ දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන්නේ නෑ. එවන් අයට ඉදිරිපත්වීමට හැමවිටම අනුබල දෙන්න ඕනේ. කුසලතා තිබුණත් නැතත්, මේ ලෝකේ ඉන්න හැම කෙනාම නටනවා, රඟනවා. ඒ ජීවිතය නමැති රඟ මඬලේ. සමහරු නටන්නේ තමන්ගේ නැටුමේ ලස්සන දැනගෙන, අලංකාර ඇඳුමින් හැඩ වැඩ වෙලා. ඒත් සමහරු නටන්නේ ‘බොරුව’ නමැති සළුව ඇඳගෙන ‘මුළාව’ නමැති කඩතුරාවෙන් දෑස් වසාගෙන. ඒ අයට තමන්ගේ රංගනය නොපෙණෙන නිසා හිතන්නේ එය ඉතා අලංකාර එකක් කියලයි. ඒත් බලන් ඉන්න අයට පේනවා ඔවුන්ගේ රැඟුමේ තරම. සත්‍යය පෙන්වා දුන්විට ඔවුන්ට ලැජ්ජාවෙන් ඇඹරෙන්නට සිදුවන්නේ ඒ නිසයි.
මාර්තු 15
අද සෙනසුරාදා. කරන්න තියෙන වැඩ ටික අර කට්ටිය එන්න කලින් ඉවර කරලා තියාගන්න ඕනේ. තවත් අළුත් වැඩසටහන් කිහිපයක් අන්තර්ජාලයෙන් ලබා ගන්න තියෙනවා. සමහර ඒවා නොමිලේ ලබාගන්න බැහැ. ඒවට මුදල් ගෙවන්න ඕන. අධ්‍යාපන විශේෂඥයින්ගේ උපදෙස් අනුව පිළියෙල කරලා තියෙන මෙම වැඩසටහන් මාලාව ඩොලර් 45 ක මිලකට ලබාගන්න පුළුවන්. මුදල තරමක් වැඩි වුනත් ඉතාම හොඳ ක්‍රියාකාරකම් ඊට අඩංගු වන නිසා එය ලබා ගත්තා. අන්තර්ජාලයේ හා විද්‍යුත් වාණිජ්‍යයේ දියුණුව නිසා ඊට ගතවුනේ විනාඩි කිහිපයක කාලයක් විතරයි. ඉන් කිහිපයක් පරිගණකයේ ස්ථාපනය කර ක්‍රියාත්මක කර බැලුවා. ගෙවූ මුදලට වටිනවා. ඒත් ඒක කරන්න වුනේ ටික වෙලාවයි. අර කට්ටිය ඇවිල්ලා, උස් හඬින් කතා කරනවා ඇහෙනවා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. අද පස් දෙනෙක්ම ඇවිත්. එක්කෙනෙක් අළුත් කෙනෙක්. මහත මිනිහා අත් දෙක ඉනේ ගහගෙන ඉන්නවා. ඒ ගමන්ම අළුත් සාමාජිකයාට වැඩ පිළිවෙළ ගැන පැහැදිලි කරලා දෙනවා.
*** කවුද මේ?
$$$ මම චමින්ද.
^^^ අළුත් එක්කෙනෙක්. එයාටත් බැදෙන්න ඕනලු. අපි එක්කර ගෙන ආවා.
$$$ මාත් දාහක් දෙන්නං.
*** අපේ වැඩ පිළිවෙල ගැන කියලා දුන්නද?
^^^ අපි තේරුම් කරලා දුන්නා.
$$$ ඒත් අයියේ, පැහැදිලි නැති තැන් කීපයක් තියෙනවා.
*** ඒ මොනවද?
$$$ ඕක කවදද කෙරෙන්නේ?
*** ඒක තියෙන්නේ උඹලගෙ අතේ තමයි. මහන්සි වුනොත් ඉක්මනටම පුළුවන් වෙයි.
$$$ අර කටිටිය නම් කිව්වේ මේක පටන් ගන්න කතා කරලා දැනට අවුරුදු දහයක් විතර වෙනවා කියලා. ඒක ඇත්තද?
*** මො...මොකක්? ක...කවුද ඔය බොරුව කිව්වේ? මො...මොන පිස්සුද?
$$$ නෑ අයියේ, මට ඇහුණ හැටි වෙන්නැති.
*** ඒක මිසක්.
$$$ ඉතිං අයියේ, අපි මොකටද එයාගේ වැරදි හොයන්නේ. එයා මොනවා ඉගැන්නුවත් අපිට තියෙන රුදාව මොකද්ද? ඒවා කරන්න ඕන දෙපාර්තමෙන්තුවෙන්නේ. අනිත් එක රටේ මේතරම් හොරකම්, අපරාධ, කරන අය ඉන්නකොට? ඒ අය ගැන අපිට කැක්කුමක් නැද්ද කියලා කවුරු හරි ඇහුවොත්? අපි මොනවද ඒ ගැන කරලා තියෙන්නේ කියලා ඇහුවොත් ලැජ්ජාවේ පණ යනවනේ?
*** අපි පෙන්නන්න ඕන එයාගේ තියෙන වැරදි නිසයි රස්සාව නැති කරන්න යන්නෙ කියලා. අපිට කියන්න බෑනේ එයාගේ දේපල අල්ල ගෙන බිස්නස් කරන්න මේක කරනවා කියලා. දෙපාර්තමේන්තුවටත් අපි පෙත්සන් ගහලයි තියෙන්නේ. කවුරුහරි ඇහුවොත් කියන්න තියෙන්නෙ අපි තමයි මුළු රටේම නීතිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා. ප්රභාකරන් අල්ලන්න ඔත්තුව දුන්නෙත් අපි කිව්වම වැඩේ ඉවරයි.
$$$ හරි අයියේ, මට තේරුණා. ඉතිං අපි ඔතන වැඩකරන අනිත් අයගෙත් වැරදි හොයන්න ඕනද?
*** ගොන් හරකා, අපි අනිත් අයගේ ගෙවල්වල බිස්නස් කරන්න යනවද? උඹට ඕන්නං ගිහිං හොයපං, වෙන වැඩක් නැත්තං.
$$$ සමාවෙන්න, අයියේ. එතකොට අනිත් අයට සැකයක් ඇතිවෙන්නැද්ද මේ ගැන? ඒ ගැන කවුරු හරි විරුද්ධව කථා කළොත්? ඇයි අපිව මේවට සම්බන්ධ කරගන්නේ, කෙලින්ම එයත් එක්ක කතාකරලා මේවා විසඳගන්න කොන්ද පණ නැද්ද කියලා කවුරුහරි ඇහුවොත්?
*** සැකයක් ඇති නොවෙන විදියට උඹලා වැඩ කරන්න ඕන. අනිත් අය රැවැට්ටුවට ඌව රවට්ටන්න අපිට බෑනේ. ඌ හැම එකම දන්නවා. ඕනවට වැඩිය හොට දාන අයව මට්ටු කරන විදියත් උඹ දන්නවනේ.
$$$ අර ඇ......
*** කට! කට! බලනවා කවුරුවත් අහගෙනද ඉන්නේ කියලා.
$$$ නෑ අයියා, කවුරුත් නෑ. ඉතින් අයියා, රස්සාව නැති වුනාට එයාට වෙන ආදායම් මාර්ග තියෙනවනේ.
*** ඒවත් නැති කරන්න පුළුවන් තරම් හේතු හදන්න ඕන. ලාබයක් වුනොත් ඒවගේ දෙගුණයක පාඩුවක් කරන්න ඕන. බැංකුවේ තියෙන සල්ලිත් පුළුවන් තරං එළියට අදින්න ඕන. එතකොට හරි, තේරුණාද? අනිත් එක තමයි පුළුවන් තරම් බය කරලා තියන්න ඕන. අපි නැත්තං කිසි දෙයක් කරගන්න බෑ කියලා කියන්න ඕන.
$$$ ඒවා අපි එයාගේ ගෙදර ගිහින් එයාව හම්බ වෙලා කියන්න ඕනද?
*** තෝ පුන්නක්කුද යකෝ කන්නේ? ඒවට තමයි උඹලට හෑන්ඩ් ෆෝන් දීලා තියෙන්නේ. ඒවායින් ඔතන ඉන්න ගෑණුන්ට කතාකරලා කියන්න ඕනදේ එයාලට කියපන්. එයාලා ඒව ඌට කියයි.
$$$ මොකටද අයියේ අපි මේවා ගෑණු ලවා කියවන්නේ? අපිටම එයාට කෝල් කරලා කියන්න පුළුවන් නේ. අපි මේවා ගෑණුන්ට කියලා කියවන්න ගියාම අපිට පො......... කියලා කියයිනේ.
*** ඕන දෙයක් කියාගත්තම අපිට මොකද, අපේ වැඩේ වෙනවනම්. ඌට කෝල් කරාම අපේ නොම්මර දැනගෙන ඌ පොලීසියට ගිහින් කිව්වම අපිට වෙන දේ තොට තේරෙන්නෙ නැද්ද?
$$$ ඇත්තමයි, දැන් තමයි තේරුණේ. ඔතන බැඳපු නැති ගෑණුත් ඉන්නවද?
*** බැඳපු නැති ගෑණු මොකටද යකෝ? තෝ හිතුවෙ මේ මගුලක් කතා කරනව කියලද?
$$$ සමාවෙන්න අයියා. ඉතින් එයා ඔය කියන දේවල් අහනවද? අවුරුදු දහයක් තිස්සේ කියලා වැඩක් වුනේ නැත්තං තවත් කියනවට වැඩිය අපේ කටවල් ගලක උලාගන්න එක හොඳයි නේද කියලා හිතෙන්නෙ නැද්ද?
*** තෝ කාටද කතා කරන්නේ? කවුද යකෝ ඔය අවුරුදු දහයක බොරු කතාව කිව්වේ? ගොන් තකතිරුවා, ආයෙත් ඔය අවුරුදු දහයේ කතාව කිව්වොත් මම තොගේ කට තලනවා, දැනගනින්.
$$$ සමාවෙන්න අයියා, වැරදිලා කියවුනේ. අපි තව මොනවද කරන්න ඕනේ?
*** දැනට ඔය ටික කරපං. ඊළඟට කරන්න ඕන දේවල් අපි ඒ වෙලාවට කියන්නං.
$$$ ඉතිං අයියා, එයා කැමති වෙයිද අපිට දිගටම බිස්නස් කරන්න ඔතන දෙන්න? කැමති වුනත් පස්සෙ ආපහු ඉල්ලුවොත්?
*** ඒවා ගැනත් අපි හිතලයි තියෙන්නේ. බිස්නස් කරන්න ගිවිසුම් ගැහුවට පස්සෙ අපිට උගෙන් වැඩක් නැහැනේ. ඊට පස්සෙ අපි ඌව ජීවිතාන්තය දක්වා හිරේ අරින්නයි හිතං ඉන්නේ.
$$$ ඒ කොහොමද?
*** ඒ ගැන අපිට සැලැස්මක් තියෙනවා. ඒක අපි හැමෝටම කියන්නෙ නැහැ. උඹලට ඒක පස්සේ දැනගන්න පුළුවන් වෙයි. අපි කරන දේවල් වල හැටියට ඕක මොකද්ද?
$$$ ඉතිං අයියා, මේ වැඩේ කෙරුනේ නැත්තං අපි දීපු සල්ලි වලට මොකද වෙන්නේ?
*** මොකද යකෝ වැඩේ නොකෙරෙන පැත්තට කතා කරන්නේ? උඹලගේ සල්ලි මං ළඟ තියාගෙන ඉන්නේ නෑනේ. එහෙම වුනොත් හිතා ගනිං ඒවා බහිරවයා ගිල්ලා කියලා.
$$$ වැරදි දෙයක් කිව්වනං සමාවෙන්න, අයියා. අපි එහෙනම් ගිහින් එන්නං.
*** හරි, හරි ගිහින් වරෙන්. වසන්ත පොඩ්ඩක් හිටපන්. මට උඹත් එක්ක කතාකරන්න දෙයක් තියෙනවා.
පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ආපසු යන්න ගියා. අළුතින් ආපු එක්කෙනත් ඒත් එක්කම ගියා. වසන්ත කියලා හඳුන්වපු පුද්ගලයා විතරක් නැවතුනා. මහත මිනිහට මාරාවේශ වෙලා. අර හතරදෙනා නොපෙනී ගිය ගමන්ම එයා වසන්තට කුණුහරුපෙන් බනින්න ගත්තා.දැන් එයාගේ අත් දෙක ඉනේ නෑ.
*** .......%$ @&&) !(++.......... මොකාද යකෝ අර එක්කං ආපු එකා? ඌ නුහුරටමනේ කතා කරේ. අපිව පාවා දෙන්න ආපු එකෙක්ද කොහෙද. ඔත්තු කාරයෙක්ද දන්නෑ. පුළුවන් නම් දීපු සල්ලි ආපහු දීලා එලවලා දාපං.
^^^ එයා ගැන මම බලන්නම්. පොලීසියට ඔත්තුව දුන්නොත් අපි ඔක්කොම ඉවරයි.
*** ඒක මං බලාගන්නං. මං අඳුරන අය පොලීසියෙත් ඉන්නවා.
^^^ එහෙනං මං ගිහින් එන්නම් අයියා.
*** බැන්නට තරහා නෑනේ?
^^^ පිස්සුද? අයිය අද භූමිතෙල් ගෑවිච්ච ගැරඬියා වගේ තමයි දැඟලුවේ.
*** කවුද යකෝ ගැරඬියා?
^^^ විහිළුවටනේ කිව්වේ අයියා, තරහගන්න එපා.
වසන්තත් මුහුණ බිමට හරවාගෙන යන්න ගියා. මහත මිනිහා ගේ ඇතුළට ගිහින් දොර වහගත්තා. අදට ඔච්චරයි. අද ලියපු හරිය නම් පැදුර වගේ දිගයි. ඒත් කරන්න දෙයක් නෑ. කොට කරන්න ගියොත් කතාව තේරුම් ගන්න අමාරු වෙනවා. එතකොට කියයි ඒක මට විතරක් තේරුම් ගන්න පුළුවන් කතාවක් කියලා.
මාර්තු 20
අද පඩි දවස. අප රැකියාවක් කරන්නේ සමාජයට කිසියම් සේවයක් කර අප ද යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්. අද එම ප්‍රතිලාභය ලැබෙන දිනයයි. විශේෂ අධ්‍යාපනයේ නිරත ගුරුවරුන්ට අමතර 10% ක දීමනාවක් ද ලැබෙනවා. ඒ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් විශේෂයෙන් කැපවීමේ අවශ්‍යතාවය රජය තේරුම් ගෙන තිබෙන නිසයි. රජයේ රැකියාවන් වගේම පුද්ගලික රැකියාවන් කරන කොටසකුත් ඉන්නවා. ඊට අමතරව ස්වයං රැකියාවක් කරන අයත් ඉන්නවා. අනිත් කොට්ඨාශය තමයි රැකියාවක් නොකරන උදවිය. සමහරු රැකියාවක් නොකරන්නේ ඊට සුදුසුකම් නැති නිසයි. තවත් සමහරු රැකියාවක් නොකරන්නේ බැරි කම නිසා නෙවෙයි වෙනත් හේතු නිසා. අත පය හොඳට තිබුණත් කිසිම රැකියාවක් කරන්න පෙළඹෙන්නෙ නැති කොටසකුත් ඉන්නවා. ඒ වගේ අය තමයි අර මහත මිනිහා හම්බවෙන්න යන්නේ. ඒ අයගේ රැකියාව තමයි රැකියාවක් තියන කෙනෙක්ගේ රැකියාව නැතිකරලා තමන්ට රැකියාවක් ඇති කර ගන්න එක. ඒක තමයි ඔවුන්ගේ යුක්තිය, සාධාරණය. ගිය සතියේ නම් මහත මිනිහා ජීවිතේට අහපු නැති දේවල් ටිකක් අහගත්තා අර චමින්ද කියන තරුණයාගෙන්. ලැජ්ජාවක් තියෙන මිනිහෙක් නම් ආයෙත් ඔය වැඩේ කරන්නෙ නෑ. මේ සතියේ මොකද වෙන්නේ කියලා දැනගන්න වෙන්නේ අනිද්දට තමයි.
මාර්තු 22
අදත් වෙබ් අඩවි කිහිපයක සැරිසරමිනුයි ඉන්නේ. ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය, පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මින් කිහිපයක්. අප සැම විටම සූදානමින් සිටිය යුතුයි. උතුරේ ත්‍රස්තවාදය අවසන් වී ඇතත් තවමත් වෙනත් ත්රස්තවාදීන් ක්‍රියාත්මක වෙනවා. ත්‍රස්තවාදය කිසි කෙනෙකු විසින් අනුමත කරන්නේ නැහැ. එය අනුමත කරන කෙනෙක් ඉන්නවනම් ඒ අනුමත කරන්නේ ඉන් තමන්ටත් ප්‍රතිලාභයක් තිබෙන නිසයි, තමන්ගේ ඥාතියෙක් හෝ හිතවතෙක් ඊට සම්බන්ධව සිටින නිසයි. බිය නිසා ත්‍රස්තවාදය අනුමත කරනවා යයි කෙනෙකු කීවොත් එය අමූලික බොරුවක්. ත්රස්තවාදීන්ගේ පීඩාවට ලක්වූ සැවොම පැවසුවේ හැකිතරම් ඉක්මනින් එය අවසන් කරන ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා ඒ තරම් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඊළඟ ඡන්දය දිනුවේ ඒ නිසයි. පිටත කිහිප දෙනෙකු කතා කරනවා ඇහෙනවා, මං හිතන්නේ ත්‍රස්තවාදියෝ ඇවිල්ලා. ඔව්, හැබැයි අද ඇවිත් ඉන්නේ තුන් දෙනයි. වෙනදා හතරදෙනෙක් එනවනේ. මහත මිනිහා අත් දෙක ඉනේ ගහගෙන ඉන්නවා.
*** කෝ අර චමින්දයා? එලවලා දැම්මද? ඕකව මරන්න තරං තරහක් මට තියෙන්නේ.
^^^ මිනිහා සල්ලි ආපහු ඉල්ලගෙන යන්න ගියා.
*** එතකොට කෝ පීරිස්?
^^^ එයත් චමින්දත් එක්කම ගියා. ආයේ එන්නැල්ලු. චමින්දයා එක්කන් ආවෙත් ඌනේ.
*** ඇයි දෙන්නම ගියේ?
^^^ උන් කියනවා අපි බොරුකාරයො බව තේරුම් ගත්ත නිසා යනවලු.
*** උන් දෙන්නා ගියා කියලා අපිට පාඩුවක් නෑනේ. අපේ කට්ටිය හැමතැනම ඉන්නවනේ.
^^^ ඒක හරි. ඒත් දැන් මුන් දෙන්නා අපි ගැන දන්නවනේ. පොලීසියට ඔත්තුව දුන්නොත් මොකද වෙන්නේ?
*** පොලීසියේ සමහරු කොහොමත් අපි ගැන දන්නවනේ. ඒත් මුන් දෙන්නා අපි ගැන ඇත්ත කතාව කිව්වොත් නම් අපි මාර අමාරුවක වැටෙනවා.
^^^ මොකද කරන්නේ, එහෙම වුනොත් අපේ වැඩේ වැඩි කලක් කරගෙන යන්න බැරිවෙයි.
*** හැංගිලා ඉඳන් ගේම දෙන එක තමයි හොඳම වැඩේ. ගෑණු ලවාම වැඩේ කරගන්නයි තියෙන්නේ. මටත් එකපාරක් එන්න කියලා තිබුණා සාකච්ඡා කරන්න. මං ගියේ නෑ. ගියොත් වැඩේ අහුවෙනවනේ. බය කරලම වැඩේ කරගන්න එකයි තියෙන්නේ.
^^^ ලියුම් පෙට්ටියට තව සැරයක් සර්පයෙක් දාලා බලමුද?
*** යකෝ, හෙමින් කතා කරපං. කාට හරි ඇහුනොත්.
^^^ නෑ, අයියේ. මේ වෙලාවට කවුරුත් නෑ.
*** ගියපාර එකා කෑවෙ නැති එක හොඳට ගියා. කාලා මැරුණනම් අපි බිස්නස් කරලා ඉවරයි. කාලා ජීවත්වුනානං මේ වෙලාවේ අපි ඉන්නේ හිරේ. ආයෙත් ඔය වගේ ගොං වැඩ කරන්න නරකයි. වෙන විධියක් බලමු. අරුං දෙන්නා අපිව අහුකරන්න ඔය වගේ වැඩක් කරයි ද දන්නෑ. ඕකට තමයි කියන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී කියලා. කවුරු කරත් දැන් අපේ ගොඩට තමයි වැටෙන්නේ.
^^^ අපි මේක අතඇරලා දාමුද?
*** තමුසෙට පිස්සුද ඕයි. අවුරුදු දහයක් තිස්සේ කොච්චර වියදම් කළාද? අපි නටපු නැටුම් වලින් එතකොට වැඩක් නැති වෙනවනේ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ.
^^^ එහෙනං දිගටම කරමු.
*** අන්න හරි, උඹට මොළේ තියෙනවා. කෝ ගනිං සල්ලි.
^^^ අද නම් ටිකයි එකතු වුනේ. ඔන්න මගේ ගාන තියාගෙන ඉතුරු ටික ඔක්කොම. කොල්ලොන්ට පඩි ගෙවන්නත් එපායැ.
*** මෙච්චරද තියෙන්නේ? අලුතින් කවුරුත් බඳව ගන්න බැලුවෙ නැද්ද? තව පුළුවන් තරම් හේතු හදපං, බයකරපං.
තුන්දෙනාම කලකිරීමෙන් යුතුව යන්නට ගියා. මහත මිනිහාත් හිටියේ කලකිරිලා. මේ වගේ තේරුමක් නැති වැඩ කරන්න ගියාම ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි. එහෙමනම් ඉතිං ඉගෙනගන්න ඕනෙත් නෑ, විභාග පාස් කරන්න ඕනත් න,. රස්සාවක් කරන්න ඕනත් නෑ. ජංගම දුරකථනයක් තිබුණම ඔක්කොම හරි. ඉස්කෝල ඕනෙත් නෑ, උසාවි ඕනෙත් නෑ, පොලීසි ඕනෙත් නෑ. මුන්ටම ගිය රට!
මාර්තු 28
අද විද්‍යාලයීය ක්‍රීඩා උළෙල. විශේෂ අධ්‍යාපන ඒකකයේ ළමුන්ටත් එයට සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. සෑම ඉසව්වකටම ඔවුන්ට සහභාගි වීමට නොහැකි වුවත් හැකියාව ඇති ඉසව් සඳහා ඔවුන්ට සාමාන්‍ය ළමයින්ට මෙන්ම අවස්ථාව ලබා දිය යුතුයි. ක්‍රීඩාව යනු ළමයාගේ කායික හා මානසික වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්. ක්‍රීඩාවකින් ලැබෙන වැදගත්ම දෙය තමයි ජය පරාජය සමසේ විඳීමට හැකියාව ඇති කිරීම. සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නේ එළිමහනේ. පන්ති කාමරය තුළ කරන ක්‍රීඩාවන් හඳුන්වන්නේ ක්‍රියාකාරකම් ලෙසින්. මීට දශක කිහිපයකට පෙර නම් තිබුණේ ක්‍රියාකාරකම්වලින් තොර අධ්‍යාපනයක්. ගුරුවරයා කළුලෑල්ලේ ලියන දේ සිසුවා පොතේ ලියාගන්නවා. පොතේ තියන දේ කටපාඩම් කර ඒ ආකාරයෙන්ම විභාගයේදීත් ලියනවා. ඒත් වර්තමානයේ භාවිතා වන්නේ ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපන ක්‍රමයක්. එමගින් උගන්වන දේ වඩාත් හොඳින් තහවුරු වනවා වාගේම ළමයා ද නොදැනීම විෂය කරුණු, නිපුනතා ධාරණය කරගෙන තිබෙනවා. රජයෙන් නිතුක් කර තිබෙන ප්‍රාථමික පන්ති පෙළපොතක් අරන් බැලුවත් ඒ බව හොඳින් තහවුරු වෙනවා. පරිගණක පාඩම් වුනත් සකස් කර තිබෙන්නේ මේ විදියටම තමයි. විදෙස් රටවල නිපදවා ඇති පරිගණක වැඩසටහන් මේ අතින් තිබෙන්නේ ඉහළ තැනක. අපේ රටේ පරිගණක වැඩසටහන් නිපදවා තිබෙන්නෙත් ඒවායේ ආභාෂය ලබාගෙනයි. වෙනසකට තිබෙන්නේ තාක්ෂණය භාවිතා කරලා තියෙන්නේ අවම මට්ටමින්.
මාර්තු 29
මහත මිනිහා අත් දෙක ඉනේ ගහගෙන පාර දිහා බලාගෙන ඉන්නවා. විනාඩි කිහිපයක් ගතවුණෘ. ඈතින් කවුද එනවා පේනවා. ඔව්, ඒ අර තුන්දෙනා තමයි.
*** මොකද තත්ත්වය?
^^^ අන්තිමයි. අද නම් සතයක්වත් හම්බ වුනේ නැහැ. දැන්නම් අපි ඉන්නේ පිදුරු ගහේ එල්ලිලා වගේ.
*** මොකක්? මේ වැඩේ හරියන්නෙ නෑ. මං හිතන්නේ චමින්දයා අපිට විරුද්ධව වැඩ කරනවා වගේ. මේකට ඇතුළෙ කවුරු හරි සම්බන්ධ කරගන්න වෙනවා.
^^^ ඒ කිව්වෙ අයියා?
*** ඕකව ඔතනිං මාරු කරලා යැව්වොත් අපිට වාසියි. වෙන තැනකට ගියාම අපිට ආයෙත් මුල ඉඳලා පටන් ගන්න පුළුවන් නේ. එහෙම කරන්නනම් වෙන කෙනෙක් ඔතෙන්ට දාන්න වෙනවා. ඔතන ඉන්න කෙනෙක්ම දාන්න පුළුවන් නම් වැඩේ ලේසියි. උගන්නන දේම වැරදි හොයන්න කියපං. උගන්නන හැම වෙලාවෙම ඒකට කොයි විදියකින් හරි බාධා කරලා, උගන්නන එක එපා වෙන තැනට වැඩ කරලා ඒක නවත්තන්න බලන්න කියලා කියපං. එතකොට ඔතන අත ඇරලා දාලා යයි.
^^^ ඒක නම් මරු අදහස. ඒක රස්සාව නැති කරනවට වැඩිය ලේසියි. හැබැයි තව කාලයක් අපට බලා ඉන්න වෙනවා. මම හෙටම කතාකරලා බලන්නම්. ඒත් ඉතින් ගෑණුන්ට කියලා මේව කරවන්න ගියාම අපි පො................. වෙනවනේ. මම ඌටම ගිහින් ටෝක් එක දාන්නද? නැත්තං අයියට යන්න බැරිද? එක පාරකුත් එන්න කිව්වා කියලා අයියමනේ කිව්වේ.
*** ඒ පාර තෝත් චමින්ද වෙන්න ආවද? තොට මාත් එක්ක වැඩ කරන්න බැරිනම් පලයන්. වැඩේ වණ කරගෙන විතරක් ආයේ මං ළඟට එන්න එපා. අවුරුදු දහයක් බලා හිටපු එකේ තව කාලයක් බලං ඉන්න එක මොකද්ද? යවනවනං ගමේ ඉස්කෝලෙකටම යවපං. ටවුන් වල එවුන් අන්දන්න අමාරුයි. හැබැයි මෙතන ඉන්දෙද්දිම වැඩේ කරගත්තොත් අපිට ලේසියි.
^^^ මෙතෙන්දිම රස්සාව නැතිකරලා දාන්න වෙන විධි නැද්ද?
*** තියනවා. හැබැයි අරවා තරම් ලේසි ක්‍රම නෙවෙයි.
^^^ ඒ මොනවද?
*** පුළුවන් නම් ළමා අපචාර චෝදනාවකට හරි විනය චෝදනාවකට හරි පටලන්න බලපං.
^^^ ෂාහ්! එහෙනං ඉතිං බඩුම තමයි. අයියගේ මොළේ තමයි මොළේ.
*** චමින්දයට එහෙම මේවා ගැන කියන්න යන්නේ නැහැ තේරුණාද?
^^^ පිස්සුද අයියා? ඌ දැන් අපිත් එක්ක ආශ්‍රයක් නෑ.
*** එහෙනං වැඩේ ගොඩ. බැරිද ඕක වැහෙන තැනට වැඩ කරන්න? එතකොට යන්නම වෙනවනේ.
^^^ ඒකත් කරන්න බැරිකමක් නෑ. හැබැයි එහෙම කරන්න ගියොත් අපි ගැන නරක ආකල්පයක් ඇති වෙන්න පුළුවන්.
*** උඹට හොඳටම විශ්වාසද දැනට අපි ගැන තියෙන්නෙ හොඳ ආකල්පයක් කියලා?
^^^ නැතුව. එහෙම නැත්තං ඉතිං අපි කරන දේවල් වල හැටියට අපිව එල්ලන්න එපායැ?
*** යකෝ උඹලත් චමින්දයා හින්දා නරක් වෙලා. මට උඹලා ගැනත් සැකයි.
පිරිස විසිර ගියා. මහත මිනිහා අර්බුදයකට ලක්ව ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. මූල්‍යමය මෙන්ම පිරිස් බලයෙන් ද ඔහු පිරිහෙන්නට පටන් අරන්. බොරුවෙන් ටික දෙනක් ටික කලක් රවට්ටන්න පුළුවන්. ඒත් බොරුවෙන් හැම කෙනෙක්ම හැමදාමත් රවට්ටන්න බැහැ. එක බොරුවක් එළි වෙනකොට තව බොරුවක් ගොතාගන්න වෙනවා. භූමිතෙල් ගාගත්තු ගැරඬි වගේ දඟලන්න පටන්ගන්නේ එතකොට තමයි. බලමුකෝ තව කොච්චර කල් මේ බොරුව කරගෙන යයිද කියලා?
අප්‍රේල් 05
අද සෙනසුරාදා. මහත මිනිහා සහ හොරු තුන් දෙනාගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් ඉන්නේ. උදේ වරුවේ වැඩක් කරගන්න ඕන. වැඩක් පටන්ගන්නත් කලින්ම ගෙදර සීනුව නාද වුණා. දොර ඇරලා බලන්න ඕන. දොර ඇරියා. දොර ළඟ සුහද සිනහවක් පාමින් සිටගෙන සිටියේ තරුණයෙක්. මොනවා? දෙවියනේ, මේ චමින්ද නේද? කෝකටත් දන්න බව අඟවන්න නරකයි. කවදාවත් දැකලා නැති විධියට චමින්දත් එක්ක කතා කළා.
=== ඇයි?
$$$ මම සර්ව හම්බ වෙන්න ආවේ. දැකලා නැතත් සර් ගැන අහලා තියෙනවා.
=== මොකද්ද නම?
$$$ චමින්ද.
=== මොකද්ද උවමනාව?
$$$ සර්, මම රස්සාවක් හොයනවා.
=== ඉතින් ඇයි මාව හම්බවෙන්න ආවේ?
$$$ කාලෙකට ඉස්සර මේ කිට්ටුව ‘සිකියුරිටි සෙන්ටර්’ එකක් තිබුණා නේද?
=== ඒ හුඟක් ඉස්සර. අවුරුදු දහයකට විතර කලින්.
$$$ අන්න හරි, දැන් ඒක නැද්ද?
=== ඊට පස්සේ ඒ කට්ටිය ඒක පටන්ගත්තෙ නෑ.
$$$ කොතනද ඕක තිබුනේ?
=== අර ඉස්සරහ තියෙන ගෙදර ළඟ.
$$$ වහලා නම් වැඩක් වෙන්නෙ නැතිවෙයි, සර්. මෙතනත් ඒ කාලේ බිස්නස් එකක් තිබුණා නේද?
=== ඔව්, ඔයා දන්නවද?
$$$ ඒ කාලේ මං පොඩියි. ඇවිල්ලා නෑ. ඇයි දැන් කරන්නෙ නැත්තෙ ?
=== රස්තියාදුකාරයො වගයක් නිසා නවත්තලා දැම්මේ. නිකං මොකටද විහින් කරදර විඳින්නේ?
$$$ පස්සේ ගෙදර පවුලකට කුලියට දීලා තිබුණා නේද?
=== ඔව්, ඒ අය ගියේ කිට්ටු තැනක් හම්බවුන නිසා.
$$$ දැන් ආයෙත් දෙන්නෙ නැද්ද? සර් මොනවා හරි කරනවනම් මටත් හවුල් වෙන්න පුළුවන්.
=== මොනවද ඔයාට තියෙන සුදුසුකම්?
$$$ උසස් පෙළ පාස්, සර්.
=== හොඳට ඉගෙනගෙන තියෙනවනේ. තාම රස්සාවක් හම්බ වුනේ නැද්ද?
$$$ ඒක තමයි, සර්. මාත් රස්සාවල් වලට ඉල්ලුම් කරනවා තාම හම්බ වුනේ නැහැ.
=== ප්‍රශ්නේ මේකයි. දැනට මේක ගෙයක් විදියට පාවිච්චි කරන නිසා දෙනවනම් දෙන්න පුළුවන් එක කාමරයක් විතරයි.
$$$ කමක් නෑ, සර්. ඒ ඇතිනේ. මගේ යාළුවෙකුත් ගන්න පුළුවන් වෙයිද?
=== කවුද යාළුවා. හොඳට විශ්වාසවන්ත කෙනෙක්ද? මොකද්ද යාළුවාගේ නම?
$$$ වීරසිංහ.
=== හරියට ඇහුනේ නෑ. මොකද්ද නම? පීරිස්ද?
$$$ නෑ, සර්. වීරසිංහ.
=== හරි මම කල්පනා කරලා බලන්නං. හැබැයි පොරොන්දු වෙන්නේ නෑ. ඒ අතරම වෙන රස්සාවල් වලටත් ඉල්ලුම්පත් දාන්න. ඉස්කෝලේ නිවාඩු දුන්නම ඇවිත් මාව හම්බ වෙන්න පුළුවන්ද?
$$$ හරි සර්, මම එන්නම්.
චමින්ද කියන්නේ හරියට කරුණා වගේ. කොටින්ගෙන් කැඩිලා ඇවිල්ලා ප්රජාතන්ත්රවාදයට එක්වුනා වගේ චමින්දත් මහත මිනිහා අතහැරලා එන්න තරම් නිර්භීත වුණා. ඇමති කමක් දෙන්න නැතත්, මොකක් හරි උදව්වක් කරන්න ඕන. චමින්ද අවංකයි, එයාට ආයෙත් පීරිස්ව එකතු කරගන්න උවමනාවක් නැහැ. මොනතරම් වැරදි කරත් සමහරුන්ට ඒ සියල්ල සමාකරගන්න අවස්ථාවක් කළාතුරකින් ලැබෙනවා. ඒ අවස්ථාව පාවිච්චියට ගත්තේ නැත්නම් ආයෙත් වරක් ජීවිතේ කවදාවත් එම අවස්ථාව නොලැබෙන්න පුළුවන්. චමින්ද වත් එකපාරටම විශ්වාස කරන්න නරකයි, ඒකයි පස්සෙ එන්න කිව්වේ. සවස් වරුවේ ඇඳිරි වැටෙන තුරුම බලා සිටියත් මහක මිනිහාවත් හොරු තුන්දෙනාවත් ආවේ නැහැ.
අප්‍රේල් 09
අද පළමුවැනි වාරයේ අවසන් දවස. අද සිට අවුරුද්ද සඳහා සුමාන දෙකක පමණ කෙටි නිවාඩුවක් ලැබෙනවා. වාර අවසානයේ විවිධ ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. විශේෂ අධ්‍යාපන ඒකකයේ ළමයින්ටත් ඊට අවස්ථාව ලබා දී තිබුණා. නිශාදි ලස්සනට නටනවා. මීට කළින් දිනයේ ඇය නැටූ විදියත් අද නටන විදියත් වෙනස්. ඒ වෙනස මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වුණා. ඒත් ඒක බලා ඉන්න හරිම ලස්සනයි. පසුගිය දවස්වල මහත මිනිහා ඇතුළු පිරිස රඟ දැක්වූ නැටුම් ඊට වෙනස්. ඉස්සර ඔවුන් නැටුවේ කසී සළු ඇඳගෙන, ඒත් දැන් නටන්නේ අමු හෙළුවෙන්!
අප්‍රේල් 11
නිවාඩු කාලේ නිසා ඉස්කෝලේ වහලා. ඒක නිසා ගෙදරට වෙලා හිටියා. ටික වේලාවකින් සීනුව නාද වුණා. මං හිතන්නේ චමින්ද ඇවිල්ලා වෙන්න ඇති, නිවාඩු කාලයේ එන්න කියලා කිව්වනේ. දොර ඇරලා බැලුවම හිටියේ චමින්ද නෙවෙයි, වෙන කෙනෙක්. ඔහු තරුණයෙක්. ඩෙනිම් කලිසමක් හා ටීෂර්ට් එකක් ඇඳ සිටි ඔහු රබර් සෙරෙප්පු දෙකක් දමාගෙන සිටියා. කොණ්ඩය කොටට කපා සිටි ඔහුගේ මුහුණ දිගටියි. අතේ ජංගම දුරකථනයක් තිබුණා.
===: ඇයි?
^^^ : මට සර් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?
===: එන්න. ඉඳගන්න. මොකද්ද නම?
^^^ : මම සුරංග.
===: මොකද්ද උවමනාව?
^^^ : අපේ කටිටියට සර් උගන්වන දේවල් ගැන ප්‍රශ්න තියෙනවා.
===: තමුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්ද? කවුද ‘අපේ කටිටිය’ කියන්නේ?
^^^ : නැහැ, සර්. මම ස්වේච්ඡා සංවිධානයකින්. අපි හොඳම ගුරුවරයා තෝරලා සම්මානයක් දෙන්න කටයුතු කරන පිරිසක්.
===: මොකද්ද සංවිධානයේ නම? සංවිධානයට ලාංඡනයක් තියෙනවද?
^^^ : නැ.. නැහැ.. සර්, මේක විදේශ ආධාර මත යැපෙන සංවිධානයක්.
===: ඉතින් ඔය සම්මානය ලබාගන්න මොකද්ද කරන්න ඕනේ?
^^^ : ඒකට සර්ට කරන්න තියෙන්නේ ‘අපේ කට්ටිය’ කියන විදියට ඉස්කෝලේ උගන්නන එකයි.
===: අධ්‍යාපන දෙපාර්තමෙන්තුවෙන් කියන විදියට නැතුව තමුසෙලා කියන විදියට උගන්නන්න අපිට පිස්සු කියලා හිතුවද? තණකොළ කන ගොන්නු නං ඔය වගේ වැඩ කරයි.
^^^ : තරහ ගන්න එපා, සර්. මං කාරණය පැහැදිලි කරලා දෙන්නම්.
===: කවුද ඔය වැඩේ කරන්නේ? කවුද තමුසෙලාගේ බොස්?
^^^ : ලොකු මහත්තය නම් අපිට නිතර හම්බ වෙන්නේ නෑ. හම්බ වෙලා තියෙන්නේ එකපාරයි. අපේ කටිටියට තරු පහේ හෝටලයකින් කන්න අරන් දුන්නා.
===: එයා කොයි වගේ කෙනෙක්ද?
^^^ : මහතයි, හැම වෙලාවෙම ඉන්නේ අත් දෙක ඉනේ ගහගෙන.
===: මළ හත්තිලව්වයි!!!
^^^ : ඇයි සර් ලොකු මහත්තයා ගැන දන්නවද?
===: නෑ. මම දන්නේ නෑ. වැරදිලා කියවුනේ. කවුද එතකොට පොඩි මහත්තයා?
^^^ : එයා හන්දියේ හෝටලේ වැඩ කරන්නේ.
===: ඉතින් මොනවද මගෙන් කෙරෙන්න ඕනේ?
^^^ : අපි කියන විදියට වැඩ කරේ නැත්නම් සර්ට සම්මානය ලැබෙන්නේ නෑ.
===: මොකද්ද ඔය සම්මානය?
^^^ : ඒක සර්ට ජීවිත කාලයේදී ලබන්න පුළුවන් ඉහළම සම්මානයක්. එක සම්මානයක් නෙවෙයි, අපි සම්මාන වැලක්ම දෙනවා. එකක් දුන්නට පස්සේ තව එකක්, ඊට පස්සේ තව එකක්, ඊට පස්සේ තවත් එකක්.
===: මට තමුසෙලාගේ සම්මාන ඕන නෑ ඕයි. මට සම්මාන දීලා තියෙන්නේ රටම පිළිගත් ආචාර්ය මහාචාර්යවරු.
^^^ : ඒවා ලී කෑලි විතරයිනේ, සර්. මේවා ඒ වගේද, සර්ට අපි නැත්නම් මේවා ආයිත් ලැබෙන්නේ නෑ.
===: යකෝ මට ඕන නැත්තං තොට බලෙන් දෙන්න තියන ඕනකම මොකද්ද? මගෙන් කුණුහරුප නාහා මෙතනිං පළයන්.
^^^ : අනේ, සර්. තරහ ගන්න එපා. අපි ගැනත් මානුෂිකව හිතලා බලලා මේ දේ කරන්න.
===: ඇයි තමුසෙලාට මොකද වෙලා තියෙන්නේ?
^^^ : ගිය මාසේ සර් අපි කියපු විදියට උගන්නලා නැති හින්දා අර NGO එකෙන් අපිට සල්ලි එවලා නෑ. අපේ කටිටියට දැන් සති දෙකකින් පඩි ගෙවලා නෑ.
===: පඩි ගෙවන්න තමුසෙලා කරන රස්සාව මොකද්ද?
^^^ : සර් උගන්නන දේවල් ගැන හොයලා NGO එකට වාර්තාව යවන එක තමයි අපි කරන්නේ.
===: ඉතින් බොරු වාර්තාවක් යවනවකෝ තමුසෙලා කියපු විදියට ඉගැන්නුවා කියලා, එතකොට වැඩේ ඉවරයිනේ.
^^^ : ඒක කරන්න බෑ, සර්. NGO එකේ ඔත්තු සේවාවල් හැම තැනම ක්‍රියාත්මක වෙනවා. අපිත් නොදන්න විදියට ඒවා ක්‍රියාත්මක වෙන්නේ.
===: තමුසේ කවදද ඕකට බැඳුනේ? පඩිය කීයද?
^^^ : ඉස්කෝලෙන් අවුට් වුන ගමන්ම තමයි බැඳුනේ, දැනට අවුරුදු දහයකට විතර කලින්. මුලදී නම් දවසකට ගෙව්වේ රුපියල් දෙසීයයි. පස්සේ වැඩි වුණා. අන්තිමට හාරසීය ගානේ ගෙව්වා. දැන් සුමාන දෙකක ඉඳන් සතයක් වත් ගෙවලා නැහැ.
===: තමුසෙලා සම්මාන දෙන්න යන්නේ මට විතරයිද නැත්නං තවත් ගුරුවරුන්ටත් දෙනවද?
^^^ : මට බාරදීලා තියෙන්නේ සර් ගැන හොයන්න විතරයි.
===: ඒ කියන්නේ තමුසේ මම කළින් හිටපු ඉස්කෝලවලදිත් මේ වැඩේ කළා, එහෙම නේද, තෝව උල තියන්නයි වටින්නේ.
^^^ : අනේ, සර් මං ගැන අනුකම්පා කරන්න.
===: තමුසෙලා ගැන අනුකම්පා කරාම හිතන්නේ ඒ නිවට කමට කියලා. තමුසෙව මම ඇතුළට ඇරලයි, පස්ස බලන්නේ.
^^^ : අනේ සර්, එහෙම කරන්න එපා. අපිට කියන දේවල් නේ අපි කරන්නේ.
===: කවුද ඔය සල්ලි දෙන්නේ, කොහේදිද දෙන්නේ?
^^^ : හෝටලේදී තමයි හැමදාම හවසට දුන්නේ. දැන් දෙන්නේ නැහැ, හෙට දෙන්නං අනිද්දට දෙන්නං කියනවා, ලුණු මිරිස් එක්ක ආප්ප කන්න දෙනවා, එච්චරයි. ලුණුමිරිස නම් මාර රහයි, සර්ත් කාලා බලන්නකෝ.
===: ඒ තරං දෙයක්වත් දෙන එක ගැන තමුසෙලා සන්තෝස වෙන්න ඕන.
^^^ : මගේ තාත්තට හදවත් රෝගයක් තියෙනවා. ඒකට බෙහෙත් ගන්න තමයි මේ සල්ලි වියදම් කළේ. අනේ මං ගැනත් පොඩ්ඩක් මානුෂිකව හිතන්න සර්.
===: තමුසෙලාට මෙතන බිස්නස් කරන්න ඕන කමක් තියෙනවා නේද?
^^^ : අනේ නෑ, සර්. අපේ තුන් හිතකවත් එහෙම අදහසක් නෑ. සර් අපි කියන විදියට ඉගැන්නුවොත් ඒ ඇති.
===: තමුසෙගේ බොස්ට එන්න කියනවා. මං එයාට කියලා සල්ලි ඉල්ලලා දෙන්නං.
^^^ : එහෙම ඕනේ නෑ, සර්. සර් හෝටලේට ඇවිත් අපේ කට්ටියත් එක්ක කතා කරන්නකෝ.
===: මම සිංහයා එක්ක මිසක් අසූචි ගාගත්ත ඌරොත් එක්ක කතා කරන්නේ නෑ. කියපන් තොගේ බොස්ට මාව ඇවිත් හම්බ වෙන්න කියලා. එක පාරක් එන්න කිව්වම ඕකා හැංගුණා.
^^^ : අනේ සර්, අපි හැමදාම නානවා. අපි අපිරිසිදු නැ. සර් නානවද?
===: තොපිලට උපහැරණයක් වත් තේරෙන්නේ නෑ, අට පාස්ද?
^^^ : නෑ, සර්.
===: ඒක තමයි. තෝ හිතන්නේ මාත් තෝ වගේ අට පාස් නැති එකෙක් කියලද තෝ කියන විදියට උගන්නන්න?
^^^ : සමාවෙන්න, සර්.
===: දැන් යනවා. ගිහිල්ලා තමුසෙලාගේ වැඩේ දිගටම කරගෙන යනවා. තව මාසයක් විතර කරලා බලනවා සල්ලි ලැබෙයිද කියලා. ලැබුනේ නැත්තං එනවා මෙතන බිස්නස් කරන්න.
^^^ : අනේ ඔය ඇත්තමද සර්? සර් නම් දෙයියෙක්. ගුරු දෙයියෙක්.
===: දැන් ඉස්සෙල්ලා කිව්ව නේද බිස්නස් කරන්න ඕන කමක් නෑ කියලා. තමුසෙලා නම් ලේසියෙන්ම ලණු කනවා නේද?
^^^ : අපිට එහෙම කියන්න කියලා කියලා තියෙන්නේ.
===: ඒකත් දැනගත්ත එක හොඳයි.
^^^ : සර් කිව්ව හින්දා එහෙනම් අපි දිගටම කරනවා.
===: කරපං. කරපං. මං එපා කිව්වා කියලා තොපිලා නවත්තනවද? තොපිලට වෙන කරන්න වැඩක් නැත්තං ගිහින් බලපන් නගර සභාවෙන් හරියට වැසිකිලි හෝදනවද කියලා. හරියට කරන්නැත්තං හරියට කරන විදිය කියලා දීපං. තොපිල වගේ අසූචි නාගත්ත ඌරොන්ට ගැලපෙන්නේ ඒක තමයි.
^^^ : අනේ සර්, මොනවද මේ කියන්නේ? ඕවා ගුරුවරයෙක් කියන කතාද? සර් ඔය විදියේ කතා කියන කොට ළමයෙක් කොහොමද හරියට හැදෙන්නේ?
===: තොපිලා තාම මගෙන් සුද්ද සිංහලෙන් අහගත්තේ නෑ. වැඩි දවසක් යන්න කළින් ඒ ටිකත් අහගන්න ලෑස්ති වෙලා හිටපං.
^^^: මං යන්නං සර්. වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න.
===: හෙටම කියනවා බොස්ට එන්න කියලා. දැනටමත් රට පැනලද දන්නෑ.
^^^: මං පොඩි මහත්තයට කියන්නං කියන්න කියලා.
===: හරි හරි, යනවා.
සුරංග යන්න ගියා. උකුණෙක්ගෙ තරම්වත් මොළයක් තියෙනවනම් මේ වගේ ගොං වැඩ කරනවද? සුරංග හැදුවේ මට කැරට් අල පෙන්නලා මාව ගොනාට අන්දන්න. කැරට් අල පස්සේ දුවන්න මම බූරුවෙක් කියලා හිතුවද දන්නෙ නෑ.සුරංග කියන්නේ බිම් මට්ටමේ සාමාජිකයෙක්. එයාට කියලා නෑ නායකයාගේ සැබෑ අරමුණ මොකද්ද කියලා.ඒක නිසා එයා හිතන්නේ එයා ඇත්තටම පෙනී සිටින්නේ එයා දන්න අරමුණ වෙනුවෙන් කියලා. නායකයා විතරයි ඇත්ත දන්නේ. නායකයා සැප විඳිනවා. කොතනක හරි වැරදීමක් වුනොත් මුං ටික බිල්ලට දීලා නායකයා රට පනිනවා. මුන්ගේ ස්වේච්ඡා සංවිධානයට කියන්න තියෙන්නේ “ජාතිය විනාශකිරීමේ සංවිධානය” කියලා. ලාංඡනය වෙන්නේ මිනී ඔළුව සහ ඇට දෙක.
අප්‍රේල් 14
අද අළුත් අවුරුදු දිනය. ගනුදෙනු කර වැඩ අල්ලා ආහාර අනුභවය කරන්නට තිබෙන්නේ සවස් වරුවේ. උදේ වරුවේ තවත් කාගේ හරි පැමිණීම බලාපොරොත්තුවෙන් ඉන්නේ. පසුගිය දවස් ටිකේ ම එක එක අය ආවා. මහත මිනිහා සහ ඔහුගේ අනුගාමිකයින් බොරුවෙන් ගෙනගිය ව්‍යාපාරයේ අත්තිවාරම දෙදරා යාමත් සමගම ඊට සම්බන්ධව සිටි නොයෙක් දෙනා එයින් කඩා වැටුණා. ඉතිරි ටික දෙනාටත් වැඩි දිනක් අල්ලාගෙන ඉන්නට බැරිවෙයි. කොයි වෙලාවක හෝ කඩාගෙන වැටෙනවා. අන්න සීනුව නාද වෙනවා. තවත් කවුරු හරි ඇවිත්. දොර ඇරි විට එතැන සිනා මුසු මුහුණින් සිටගෙන සිටියේ චමින්ද. ඔහු අතේ බුලත් හුරුල්ලක් තිබුණා.
$$$: සර්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.
===: චමින්දටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
$$$: සර්, මට රස්සාවක් හම්බවුණා.
===: ඒක හොඳයි. මොකද්ද රස්සාව?
$$$: ලිපිකරු තනතුරක්. දැනට ඔය ඇති. පස්සේ හොඳ රස්සාවක් බලනවා.
===: ඔව්. ඔයාට දියුණු වෙන්න පුළුවන්. මාත් ළඟදී පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා.ඔයාවත් ගන්නං. සෙනසුරාදා, ඉරිදා දවස්වල එන්න පුළුවන් නේ.
$$$: පුළුවන්. බොහොම ස්තුතියි, සර්.
===: මම කවදාවත් බොරුකාරයෝ මගේ වැඩකට සම්බන්ධ කරගන්නේ නෑ. බොරු හේතු අරන් වැරදි ක්‍රමවලින් කවදාවත් මගේ ළඟට කිට්ටුවෙන්න බෑ. ඔයා අවංක කෙනෙක් බව තේරුම් ගිය නිසයි ගන්න තීරණය කළේ. ඔයාගේ ටෙලිෆෝන් නොම්මරේ දීලා යන්න.
$$$: මෙන්න. බොහොම ස්තුතියි, සර්. මම එහෙනම් ගිහින් එන්නං.
===: හරි චමින්ද, ගිහින් එන්න.
චමින්ද අවංක කෙනෙක්. මහත මිනිහා සහ අනුගාමිකයින්ට අවුරුදු දහයකින් කරගන්න බැරිවුණ දේ කරගන්න චමින්දට දවස් දහයක්වත් ගියේ නෑ.
අප්‍රේල් 16
ඊයේ නම් කවුරුවත් ආවේ නෑ. අද සමහරවිට තව කවුරුහරි එන්න පුළුවන්. සූදානමින් ඉන්න ඕනේ. වැඩිවෙලාවක් නොගිහින්ම සීනුව නාදවෙන්න ගත්තා. අද ඇවිත් ඉන්නේ කෙල්ලෙක්. දිග සුදු ගවුමක් ඇඳලා, කොණ්ඩේ කඩාදාලා. මම හිතන්නේ අළුත් අවුරුද්දට ඉසතෙල් ගාලා නාලා ඇවිත් තියෙන්නේ. නිකටේ උපන් ලපයක් තියෙනවා. මෝහිනී වත්ද?
===: ඇයි? කවුද ඔයා?
&&: මම චාරුනී. සර්, කවද්ද නැටුම් පන්තිය පටන්ගන්නේ?
===: මොන නැටුම් පන්තියද?
&&: ඇයි සර් නැටුම් පන්තියක් පටන් ගන්න යන නිසා ඒකෙ උගන්නන්න මාව ගන්නවා කියලා කියලා තිබුනේ?
===: කවුද එහෙම කිව්වේ?
&&: සුරංග කියලා අයියා කෙනෙක්.
===: මළ හත්තිලව්වයි!!!
&&: ඇයි සර් එයාව දන්නවද?
===: නෑ. මං දන්නෙ නෑ. නිකං කියවුනේ.
&&: එයා මගෙන් කීප සැරයක්ම සල්ලි ඉල්ල ගත්තා, පන්ති කාමරේ හරිගස්සන්න කියලා.
===: මොනවා? මම ඔහොම දෙයක් දන්නෙ නෑනේ.
&&: ඒක තමයි, සර්. එයා කිව්වේ හවස් වරුවේ නැටුම් පන්තියට මට එන්න වෙයි කියලා. රෑ වුනොත් ගෙනත් ඇරලනවා කියලත් කිව්වා. මේ වගේ දිග සුදු ගවුමක් තමයි ඇඳගෙන එන්න කිව්වෙත්. මේවා ඇඳගෙන නටන්න පුළුවන්ද සර්? දැන් සුමාන දෙකකින් විතර කෝල් කරාට එයාගෙන් උත්තරයක් නෑ. ඒක නිසයි බලන්න ආවේ. එයා නම් කිව්වේ වැරදිලාවත් මේ පැත්තේ නම් එන්න එපා කියලා එයා නැතුව.
===: මට තේරෙනවා. ඔයාගෙන් කීයක් විතර සල්ලි ගත්තද?
&&: දැනට රුපියල් පන්දාහක් විතර අරන් තියෙනවා.
===: මම හිතන්නේ ඔයාව රවට්ටලා තියෙන්නේ. ඔයා තුන් කුළුඳුල් ද?
&&: ඔව් සර්, මට තාම බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ.
===: ඒකට නෙවෙයි ළමයෝ තුන් කුළුඳුල් කියන්නේ. තුන් කුළුඳුල් නම් ඔයාගේ අම්මත් පවුලේ වැඩිමලා වෙන්න ඕනේ, තාත්තත් පවුලේ වැඩිමලා වෙන්න ඕනේ, ඔයත් පවුලේ වැඩිමලා වෙන්න ඕනේ.
&&: එහෙනං හරි සර්, මම තුන් කුළුඳුල්.
===: පන්තියට එනකොට ඔයාට නාලා එන්න කිව්වද?
&&: ඔව්නේ, සර්.
===: මටත් හිතුනා. ඇහුවට තරහ වෙන්න එපා ඔයාගේ වෙන තැන්වලත් උපන් ලප තියෙනවද?
&&: චීය්යා.. සර් අහන ඒවා.
===: එහෙම අයව නිදන් ගන්න බිල්ලට දෙනවා කියලා ඔයා අහලා නැද්ද?
&&: අහලා තියෙනවා. එහෙනං ඒකද වැඩේ?
===: ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයාව රවට්ටලා.
&&: දැන් මං මොකද්ද කරන්න ඕන සර්?
===: දැන් කරන්න දෙයක් නැහැ. ඔයාව රවට්ටලා සල්ලි අරන්. ඒ සල්ලි ආයෙත් ලැබෙන එකක් නැහැ. ආයෙත් ඔය වගේ හොරුන්ට අහුවෙන්න එපා.
&&: එහෙනං සර්, මං ගිහින් එන්නං.
===: හොඳයි, ගිහින් එන්න, චාරුනී.
එහෙනං දවසක් මහත මිනිහයි අනිත් කට්ටියයි කතාවුනේ මේක ගැන තමයි. තවත් කෙනෙක් රවට්ටලා සල්ලි අරගෙන. තුන් කුළුඳුල් බිල්ල දුන්නට පස්සෙත් නිධානය නොලැබුනොත් මොකද වෙන්නේ? නටපු නැටුම් සේරම වතුරෙ නේද? ‘නිධානය’ චිත්‍රපටියේ එන්නෙත් ඒ වගේ කතාවක්.
අප්‍රේල් 23
අවුරුදු නිවාඩුවෙන් පස්සේ දෙවන වාරය සඳහා අද පාසල පටන් ගත්තා. අළුත් මුහුණු කිහිපයක්ම අද දකින්නට තිබෙනවා. විශේෂ අධ්‍යාපන ඒකකයට අළුත් ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අළුත් මැඩම් කෙනෙකුත් ඇවිල්ලා. ඇය රම්‍යා සේනාරත්න. විශේෂ අවශ්‍යතා ඇති ළමයින් වෙනුවෙන් සේවයක් කරන්නම හිතාගෙන ඇවිල්ලා කියලයි කිව්වේ. අළුත් මැඩම් ව හැමෝම සාදරයෙන් පිළිගත්තා. විනීතා මැඩම්ගේ තනිකම, පාළුව යන්නත් එක්ක හොඳයි තව මැඩම් කෙනෙක් ඉන්න එක. ළමයින්ටත් වැඩිපුර ඉගෙන ගන්න පුළුවන්.
අප්‍රේල් 24
අළුත් මැඩම් අද ළමයි හඳුනාගන්නත් එක්ක ඒ අයට ක්‍රියාකාරකමක් ලබාදීලා ඒක හරියට කරනවද කියලා බලන්න ළමයි අතර සැරිසරනවා. හොඳටම කරපු කෙනාට තෑග්ගක් දෙනවා කියලා කියපු නිසා ළමයි වැඩේ කරන්නේ හරිම උනන්දුවෙන්. තෑග්ග හොඳට ඔතලා පීත්ත පටියකින් බැඳලා මේසේ උඩ තියලා තියෙන්නේ ළමයින්ට හොඳට පේන විදියට. ඒක දිහා බල බල ළමයි හරිම උනන්දුවෙන් වැඩ කරනවා. පොඩි ළමයෙක් වුනත් දන්නවා තමන්ට දෙයක් ලබාගන්න ඕන නම් ඒක කරන්න ඕනේ තමන්ගේ දක්ෂතා, හොඳ ගතිගුණ පෙන්නුම් කරලා කියලා. ඔවුන් කවදාවත් ඒ දේ බලහත්කාරකමින් ලබාගන්න බැරි බව දන්නවා. ඒත් සමහර නොමග ගිය තරුණයින්ට මේක තේරෙන්නෙ නෑ. නිශාන් විතරක් වැඩේ කරන්නේ කිසි ඕන කමකින් නෙවෙයි. හරියට නොකරම බැරි දෙයක් කරන්න වෙලා වගේ. මැඩම්ටත් ඒ බව තේරිලා එයාගෙන් ඒ ගැන ඇහුවා.
%%: ඇයි නිශාන් ඔයා ඕනවට එපාවට වගේ වැඩ කරන්නේ? තෑග්ග ගන්න ඔයාට ආසාවක් නැද්ද?
$$$: ත්‍රීවීල් පාර්ක් එකේ අයියලා මට තෑගි ගෙනැල්ලා දෙනවා. ඊයෙත් පිස්තෝලයක් ගෙනත් දුන්නා. අපි අඳුරන පොලීසියේ මාමත් තෑගි ගෙනල්ලා දෙනවා. මැඩම්ගේ තෑගි එපා.
%%: තෑගි එපා නම් කමක් නෑ. ඔයා හොඳට වැඩේ කරන්නකෝ.
$$$: මේවා කරන්න එපා වෙනවා මැඩම්. මම වැසිකිලියට ගිහින් එන්නද මැඩම්?
%%: යන්න ඕනම නං ගිහින් එන්න.
නිශාන් තරමක් අසාමාන්‍ය ළමයෙක්. විෂම අදහස් ඇති තරුණ පිරිස් විසින් එයාගේ සුන්දර ළමා විය උදුරාගෙන. ඒක හරිම අපරාධයක්. එයා හිතන්නේ පතන්නේ සාමාන්‍ය ළමයෙකුට වඩා වෙනස් විදියට. සමහර විට අපචාරවලටත් ලක්වෙලා ඇති. සාමාන්‍ය ළමයෙක් නම් තෑග්ග ගන්න තමයි මහන්සිවෙලා වැඩ කරන්නේ. තෑග්ගක් නෙවෙයි ගුරුවරෙයෙකුගෙන් පොතේ තරුවක් දාගන්න ළමයි කොයිතරම් ආසාවෙන් උනන්දුවෙන් වැඩ කරනවද. ඒත් නිශාන්ට ඒ පුරුද්ද නෑ. රස්තියාදුකාරයෝ එයාගේ මනස හදලා තියෙන්නේ ඒ විදියට. වෙන ළමයි තමන්ගේ සම වයසේ යාළුවොත් එක්ක සෙල්ලම් කරනකොට නිශාන් යන්නේ රස්තියාදුකාරයෝ ආශ්‍රය කරන්න. ඒක නිසා එයාගේ මනසත් හැඩගැසිලා තියෙන්නේ ඒ විදිහට. ඒ අය තමන්ගේ දක්ෂතා, හැකියාව ඉදිරිපත් කරලා නෙවෙයි බලහත්කාරකමින් අනුන්ගේ දේපොල කඩා වඩා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි කතා කරන්නේ නම් යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා කියලයි. ඒත් හොරකම, බොරුව හා වංචාව තමයි ඔවුන්ගේ තේමා පාඨය වෙලා තියෙන්නේ. මැඩම් ගේ තෑග්ග දිනාගත්තේ නිමල්. එයා තමයි කාටත් වඩා හොඳට වැඩ කරලා තියෙන්නේ. රම්‍යා මැඩම් තෑග්ග නිමල්ට දුන්නා. නිමල් ඒක දිගඇරලා බැලුවා. ඒක ඇතුලේ තිබුනේ ලස්සන කතුරක්. නිමල්ට දැන් කතුරු දෙකයි. නිමල් හැමෝම ළඟට ගිහින් කතුර පෙන්නුවා. නිශාන් කැපිච්ච පනුවෙක් වගේ දඟලනවා, මොකද දන්නෙ නෑ.
අප්‍රේල් 26
අදත් කවුරුහරි එන්න පුළුවන්. ඒක නිසා ගෙදරටම වෙලා ඉන්න ඕන. වැඩි වේලාවක් යන්න කලින්ම නිවසේ සීනුව නාද වුණා. දොර ඇරලා බලන්න ඕන.
+++: සර්ව හම්බවෙන්න කියලා ආවේ.
===: තමුන් කවුද?
+++: මම තිසර මහානාම. ‘අපේ කට්ටිය‘ සංවිධානයෙන්.
===: ඉඳගන්න. මොනවද වෙන්න ඕනේ? තමුසේ බීලා නේද ඉන්නේ?
+++: ඔව් සර්. සර්ට තියෙන්නේ ‘අපේ කට්ටිය’ කියන විදියට වැඩ කරන එක විතරයි.
===: මම වැඩ කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන විදියට මිසක් තමුසෙලා කියන විදියට නෙවෙයි.
+++: සර් අපි කියන විදියට කරන්න. අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන දේවල් නෙවෙයි, අපි කියන විදියට කරන්න. අපි එපා කියන දේවල් උගන්නන්න එපා.
===: දැන් තමුසෙලා උගන්නන්න කියලා කියන්නේ මොනවද?
+++: සර්ගේ සබ්ජෙක්ට් එක ඉංග්‍රීසිනේ. ඒ නිසා ඉංග්‍රීසි උගන්නන්න එපා. ළමයින්ට පාට කරන්න විතරක් කියලා දෙන්න, ඒ ඇති. ළමයින්ගෙ දැනුම වර්ධනය වෙන කිසිම දෙයක් උගන්නන්න එපා.
===: ඒ මොකද?
+++: අපි කරන්නේ සර් උගන්නන දේවල්වල වැරදි හොයන එකනේ. සර් උගන්නන දේවලින් ළමයින්ගේ දැනුම වර්ධනය වෙනවා කියලා දැනගත්තම සර්ව යවාගන්න අපිට අමාරුයි. සර් උගන්නන්නේ පාට කරන්න විතරයි කියලා අපි පෙත්සම් ගැහුවම සර්ව ලේසියෙන්ම යවාගන්න පුළුවන්. අනිත් ගුරුවරු තමයි හැමදේම උගන්නන්නේ කියලයි අපි කියන්නේ.
===: තමුසෙලා කියන විදියට කරන්න ගියොත් ගුරුවරයට උගන්නන්න එපා වෙනවා, ළමයට ඉගෙනගන්න එපා වෙනවා.
+++: ඒකම තමයි අපිටත් වෙන්න ඕනේ.
===: ඒ මොකටද?
+++: එතකොට ‘අපේ කට්ටිය’ට අළුත් බලාපොරොත්තු ඇති වෙනවා.
===: ඒ මොනවද?
+++: එකක් තමයි ළමයිට ඔතන එපා වෙලා ගියාම ඕක වැහෙන බලාපොරොත්තුව. අනිත් එක තමයි සර්ට එපා වෙලා ඔතනින් යයි කියන බලාපොරොත්තුව. අර චමින්ද කියන එකා කරපු වැඩේ නිසා අපේ එවුන්ගේ ‘මොරාල්’ එක හොඳටම බැහැලා තියෙන්නේ. උන් දැන් සල්ලි දෙන්නේ නෑ. ඉතින් අපිටත් නිකං බලං ඉන්න වෙන්නේ. සර් අපි කියන විදියට වැඩ කළොත් ‘අපේ කට්ටිය’ට අළුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා, සර්ට එපා වෙලා ඉක්මනටම යයි කියලා. එතකොට කට්ටිය අපිට සල්ලි දෙනවා, අපේ බිස්නස් සරු වෙනවා.
===: එහෙනං ඒකයි වැඩේ. බොහොම ස්තුතියි පැහැදිලි කරලා කියලා දීපු එකට. දැන් ලෑස්ති වෙනවා, හිරේ යන්න.
+++: සර් විහිළු කරනවද? අපි මේවා කරන්නේ කාටවත් අහුවෙන්නේ නැති වෙන්න.
===: ආ, ඇත්තද? තමුසෙට පේනවද මගේ අතේ තියන එක? මේකේ තමුසේ කියපු හැමදේම රෙකෝඩ් වෙලා තියෙන්නේ. මම දැන් මේක රහස් පොලීසියට බාර දෙනවා.
+++: අනේ සර්, ඒකනං කරන්න එපා. අපි ගැන අනුකම්පා කරන්න. මට මාස තුනක බබෙක් ඉන්නවා.
===: එහෙනං දැන් යනවා. ආයෙත් මේ පැත්ත පළාතේ එන්න එපා.
+++: හරි සර් මං යනවා. සර්ට පුළුවන් නම් අපිට මේ උදව්ව හරි කරන්න.
===: ඒ මොකද්ද?
+++: සර් ගෙදර ජනෙල් දොරවල් වහගෙන ලයිටි නිවාගෙන ඉන්න.
===: ඒ මොකටද?
+++: අපි කියලා තියෙන්නේ මෙතන කවුරුවත් පදිංචි වෙලා නැති තැනක් කියලා. ඕන වෙලාවක බිස්නස් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතන කවුරු හරි පදිංචි වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් අපි බොරු කාරයො වෙනවා. එතකොට ඒ ගොල්ලො සල්ලි දෙන්නෙ නෑ.
===: ඒකත් එහෙමද? දැන් බහිනවා එළියට. තමුසෙලා හිතන් ඉන්නේ මං කවුරු කියලද?
+++: සර් ඉතින් ගුරුවරයෙක් නේ.
===: ඒක දන්නවනං බොහොම හොඳයි. මාව මිනීමරුවෙක් නොකර මෙතනිං පළයන්.
+++; එහෙම වෙනව නං කොච්චර හොඳද, සර්? එතකොට සර් හිරේ ගියාම ‘අපේ කට්ටිය’ට හැමදාම බිස්නස් කරන්න පුළුවන්. නිධානේ ගොඩදාගත්තම පරම්පරාවටම ඒ ඇති. සර්ටත් ඕන්නං කොටසක් දෙන්නං, හිරෙන් නිදහස් වෙලා ආවම.
===: බැහැපිය පරයා එළියට. තොට හොඳින් කියලා හරියන්නේ නෑ, පාහර අවජාතක බල්ලා.
+++: මේ යනවා සර්. සමාවෙන්න සර්, ආයිත් නං එන්නෙ නෑ.
===: කමක් නෑ. ආයෙත් බීපු වෙලාවක මේ පැත්තේ ඇවිල්ලා යනවා. තමුසෙගෙන් මට තව දැනගන්න දේවල් තියෙනවා.
තිසර යන්න ගියා. කම්බියක් වුනත් නවන්න පුළුවන් වාර ගණනක් තියෙනවා. දිගටම නැව්වොත් කැඩෙනවා. මුන්ට අනුකම්පා කරාම එනවා ඔලුවට අත හෝදන්න. දැන් නං තීරණයක් ගන්න ඕන අවස්ථාවක ඉන්නේ. එහෙම නොකළොත් වෙන්නේ මුන්ට දේපොල බාරදීලා තපස් රකින්න යන්න.
අප්‍රේල් 27
අද ඉරිදා. කවුරුවත් ආවේ නැත්නම් ටිකක් විවේක ගන්න පුළුවන්. ආ.. කවුරුහරි ඇවිල්ලා වගේ සද්දයක් පිටතින් ඇසෙනවා. දොරට කවුරුහරි තට්ටු කරනවා.
===: ඇයි?
+++: ස්..සර් හම්බවෙන්න කියලා ආවේ.
===: තමුන් කවුද? බීලා නේද ඉන්නේ?
+++: මම ධනුප්රිය අමරනාත්. එක්සත් වෙළඳ සංගමයේ සභාපති. අපි සර් කන බොන මිනිස්සු තමයි.
===: කරුණාකරලා හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ආවොත් නේද හොඳ? එතකොට තමයි බිස්නස් එක ගැන හරි විදියට කතාකරන්න පුළුවන්. මෙතන බිස්නස් කරන්න එන්න අදහසක් තියෙනවනම් ඒක අතඇර ගන්න. දැක්කෙ නැද්ද ගේට්ටුවේ ගහලා තියෙන දැන්වීම?
+++: මම ආවේ බිස්නස් කතා කරන්න නෙවෙයි, සර්ට අවවාදයක් කරලා යන්න.
===: මට හිතාගන්න පුළුවන්. තමුසෙලාගේ හිතේ තියෙන දේවල් කෙරෙන්නෙ නෑ. කරුණාකරලා යන්න.
+++: එහෙම යන්න පුළුවන්ද? අපි මේකට කොච්චර සල්ලි වියදම් කරලා තියෙනවද? අපේ සංගමයේ අය රුපියල් දාහේ ඉඳන් මේකට වියදම් කරලා තියෙනවා. සමහරු ගොඩක් ලොකු ගණන් මේකට සල්ලි දාලා තියෙනවා.
===: ඔය සංගමයට සම්බන්ධ වෙලා ඉන්න අය කවුද?
+++: අපේ කට්ටියේ අය තමයි. සමහරුන්ට නම් කතා කරාට ආවෙ නෑ. ඒගොල්ලෝ මේකට සම්බන්ධ වෙන්න කැමති වුනේ නෑ. අපිටත් දැන් හිතෙනවා මේකෙන් වැඩක් නැද්ද කියලා. අවුරුදු දහයක් කරලත් තාම බැරිවුනානේ. මේ තරං සල්ලි වියදම් කරපු නිසා අතඇරලා දාන්නත් බෑ.
===: ඉතින් මම කිව්වද තමුසෙලාට සල්ලි එකතු කරන්න කියලා?
+++: සර් නං කිව්වෙ නෑ තමයි.
===: එහෙනං ඉතිං ඒවයේ ප්‍රතිඵලත් තමුසෙලාම විඳගන්නවා. තමුසෙලට මම හැදෙන්න ඕනතරං අවස්ථාවල් දුන්නා. ඒවට තමුසෙලා පයින් ගහනවා නම් මට කරන්න දෙයක් නෑ. අන්තිමට මට දොස් කියන්නත් එපා.
+++: ස්..සර්, අපි කියන විදියට උගන්නන්න බැරිද? අපි ගැනත් හිතලා උදව්වක් විදියට මේක කරන්න. එතකොට ඔක්කොම හරියයි.
===: දැන් කරුණාකරලා යන්න. වෙරි හිඳුනට පස්සේ හොඳට කල්පනා කරලා බලන්න. තමුසෙලාට දවස් දෙක තුනකට වැඩිය එක විදියට ඉන්න බෑනේ. කැපිච්ච පණුවෝ වගේ දඟලන්නේ. මම කිව්වෙ නෑ කියලා විතරක් කියන්න එපා. ඒක හොඳට මතක තියාගන්න.
+++: මම යනවා. ඒත් ආයෙත් එනවා.
===: ඒක හොඳයි. තමුසෙලාගේ වැඩ පිළිවෙල පටන් ගත්ත එක්කෙනාටත් මම එන්න කියලා පණිවිඩයක් යවලයි තියෙන්නේ. අද වෙනකං ආවේ නෑ. කරන දේ හරි දෙයක් නම් මොකටද හැංගෙන්නේ? අන්තිමටම කියන්න තියෙන්නේ තමුසෙලාගේ හිතේ තියෙන දේ කෙරෙන්නේ නෑ කියන එක තමයි. ටිකක් හරි මොලේ තියෙන අය ඒක තේරුම් ගත්තා. තමුසෙලා කවදා තේරුම් ගනී ද දන්නෑ. දැන්වත් කොන්ද පණ ඇති අය විදියට වැඩකරලා අනිත් අය වගේ රස්සාවක් කරලා ජීවත් වෙන්න බලන්න.
ධනුප්රිය වැනි වැනීම යන්න ගියා. විහින් කරගන්න දේවල් වලට මම මොනවා කරන්නද?
මැයි 19
පාර දෙසින් කීප දෙනෙක් කතා කරන හඬ ඇහෙනවා. අර කට්ටිය ඇවිල්ලා වගේ.
^^^: මාර වැඩේ නේද අපිට උනේ? ලොක්කා රට පැන්නනේ. අපි දැන් මොකද කරන්නේ? යන විත්තියක් අපිට කිව්වෙත් නෑනේ.
###: වෙන මොනව කරන්නද? හෝටලේට ගිහින් පොඩි මහත්තයා හම්බ වෙලා කියමු අපේ සල්ලි ආපහු දෙන්න කියලා.
^^^: ඒක හරියන වැඩක් නෙවෙයි. මෙදා පාර අපිට ආප්ප කන්නවත් හම්බ වෙන එකක් නෑ. පොඩි මහත්තයත් දැන් හැංගි හැංගි තමයි ඉන්නේ.
###: ඒ මොකද?
^^^: ඇයි යකෝ තෝ දන්නෙ නැද්ද? එයාට සාකච්ඡා කරන්න එන්න කියලනේ. ප්‍රින්සිපල් අතේ තමයි පණිවිඩේ එවලා තියෙන්නේ.
###: ඉතිං මොකටද හැංගෙන්නේ? ගිහිල්ලා සාකච්ඡා කරන්න පුළුවන්නේ.
^^^: ගොන් හරකා, තේරෙන්නෙ නැද්ද? ඕක අපේ අන්තිම අමුඩ ලේන්සු කෑල්ලත් ගලවලා දාන්න කරපු දෙයක් බව. දැනටමත් අපි ඉන්නේ බාගෙට හෙළුවෙන්. අර චමින්දයා අපේ අමුඩේ විතරක් ඉතුරු වෙන්න අනිත් සේරම ඇඳුම් ගලවලා දැම්මා. ඕකත් ගලවලා දැම්මම අපිටත් වෙන්නේ රට පනින්න. කවුද අපිට රට යන්න සල්ලි දෙන්නේ, උඹ ද?
###: පොඩි මහත්තයත් රට පැන්නොත් අපි ඉඳලා ඉවරයි. දැන් කරන්න තියෙන්නේ උගන්නන දේවල්වල වැරදි හොයන එක විතරක් දිගටම කරගෙන යන්න. ඒකත් අත ඇරලා දැම්මොත් මිනිස්සු අපෙන් අහයි මොකද්ද මෙච්චර කල් කෙරුවේ කියලා.
###: යකෝ, ඇත්ත කියපන් තෝ චමින්දයා එක්ක ආයෙත් එකතු වුනා නේද?
^^^: නෑ, නෑ, මං කිව්වෙ මිනිස්සු කතා වෙන දේවල්.
###: දැන් කරන්න දෙයක් නෑ. චමින්දයා හොයලා ඌව මැරුවත් ඌ කරපු දේවල් ආපහු හරවන්න බෑනේ. කිසිම සාකච්ඡාවකට නම් යන්න හිතන්නවත් නරකයි. එහෙම වුනොත් අපේ අවසානේ තමයි. අපිට ඕනේ මොනවා හරි කරලා රස්සාව නැති කරන්නනේ. ඒක කරේ නැත්නම් අපි කරපු කිසි දේකින් වැඩක් නෑ.
^^^: යකෝ හෙමින් කතා කරපං. බලපන් කවුරුහරි අහගෙන ඉන්නවද කියලා. නැත්තං මෙතෙන්දිම අපේ අමුඩ ලේන්සු ට්ක ගැලවිලා යනවා.
###: ඒකත් ඇත්ත. මීට පස්සෙ වෙන කොහේදි හරි හම්බ වෙමු. ලොකු මහත්තයා නැතුව මෙහේ ඇවිල්ලා මොනවා කරන්නද?
^^^: හෝටලේ පැත්තෙ යමුද?
###: එහේ ගියත් වැඩක් නැතිවෙයි. පොඩි මහත්තයත් නැත්තං අපිට ආප්ප කන්න වත් දෙන එකක් නෑ. වැඩි කලක් යන්න කලින් හෝටලෙත් වහලා දායි වගේ.
^^^: අපරාදේ අපි වියදම් කරපු සල්ලි. කවුද හිතුවේ අපිට මෙහෙම දෙයක් වෙයි කියලා.
###: යමු හන්දිය පැත්තේ ගිහිල්ලා අපේ කට්ටිය එක්ක කතා කරලා බලමු.
කට්ටියම යන්න ගියා. මීට පස්සේ නම් ඒ අය එන එකක් නැහැ. නායකයා රට පැන්නා. උප නායකයා හැංගි හැංගි ඉන්නේ කොයි මොහොතේ හරි සාකච්ඡා කරන්න යන්න වෙයි කියලා. සාකච්ඡා කළොත් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මෙච්චර කල් කරපු බොරුව තවත් කරන්න බැරි වෙන එක. එතකොට බිස්නස් කරන්නවත් නිදන් හාරන්නවත් හම්බ වෙන්නේ නෑ.
ජූනි 02
නිවසේ සීනුව නාද වෙනවා. අද කවුද කියලා බලමු. මොනවා? මේ සුරංග නේද? ආයෙත් සම්මානයක් දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ.
===: සුරංග, එන්න. කෝ අදවත් ලයිසන් එක අරන් ආවද?
^^^: මට තියෙන්නේ ත්‍රීවිල් ලයිසන් එකයි, බයික් ලයිසන් එකයි විතරයි. ඇයි සර් ඒවා?
===: ඒ ලයිසන් එක ගැන නෙවෙයි මං කිව්වේ, මං උගන්නන දේවල් ගැන හොයන්න තමුසෙලාට අධ්‍යාපන දෙපාර්තමෙන්තුවෙන් දීපු අවසර පත්‍රය ගැන මං ඇහුවේ. ඒක පෙන්නුවෙ නැත්තං අද තමුසෙට යන්න වෙනවා.
^^^: සර් බණ කතා කරනවා. මම අද ආවේ සර්ගෙන් සමාව ගන්න.
===: ඒ මොනවටද?
^^^: කලින් දවසේ කියපු දේවල්වලට. කවුරුහරි කේලම් කියලා උන් මට හේතුවක් නැතුව හොඳටම ගැහුවා. සෑහෙන කාලයක් ඉස්පිරිතාලේ ඉඳලයි සනීප වුනේ. මම සර්ට හැම දෙයක්ම කියන්නං. හැබැයි මාව පොලීසියට අල්ලලා දෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවනම්.
===: හරි, මං පොරොන්දු වෙන්නම්. හැබැයි මට කිසි දෙයක් හංගන්නේ නැතුව හැමදේම ඇත්ත කියන්න ඕනේ.
^^^: හරි සර්, ඕන දෙයක් අහන්න මං ඇත්තම කියන්නම්.
===: තමුසෙලාගේ මේ වැඩේ සැබෑ අරමුණ මොකද්ද? පෙන්නන්න හදන්නේ මම උගන්නන දේවල් වල වැරදි නිසා කියලනේ.
^^^: කාටද සර්, සර් උගන්නන දේවල් වල වැරදි හොයන්න රුදාවක් තියෙන්නේ. අපිට වෙන වැඩ නැද්ද? අපිට කියලා තියෙන්නේ හේතුව ඒක කියලා කියන්න කියලා.
===: එතකොට මොකද්ද සැබෑ අරමුණ?
^^^: අපිට කියලා තියෙන්නේ කොහොම හරි සර්ගේ රස්සාව නැති කරන්න කියලා. ඒකට තමයි වැරදි හොයන්නේ. රස්සාව නැතිවුනාම සර්ට සල්ලි නැති වෙනකොට සල්ලි හොයාගන්න ඔතන බිස්නස් කරන්න වෙනවා. එතකොට අපිටත් ඒකේ රස්සාවල් දෙනවා කියලයි කිව්වේ. ඒ අතරෙම නිදානේ ගොඩ දාගත්තම අපේ පරම්පරාවම ගොඩයනවා කියලා තමයි අපිට කියලා තිබුනේ.
===: රස්සාව නැති කළත් වෙන ආදායම් මාර්ග තියෙනවනේ.
^^^: ඒවත් නැති කරන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඒකේ මුල් පියවර වශයෙන් තමයි සර්ගේ ඉඩමෙන් ලැබෙන ආදායම නැති කරන්න ඒකේ වැඩට අපේ දෙන්නෙක්ව දාලා උන් ලවා බඩු හොරකම් කරේ. අපි නං හිතුවේ එදාම බදු ඔප්පුවත් කැන්සල් කරලා දාලා උන්වත් සේරම එළවලා දායි කියලා. ඒත් ඒක වුනේ නෑ.
===: එතකොට තමුසෙලා ගෙනියන වැඩපිළිවෙලේ සැබෑ අරමුණ මගේ රස්සාව නැති කරන එකයි අනිත් ආදායම් මාර්ග නැති කරන එකයි, එහෙම නේද?
^^^: ඔව්, සර්. ඒත් අපි මිනිස්සුන්ට කියන්නේ සර් උගන්නන දේවල් වල වැරදි නිසයි එහෙම කරන්නේ කියලා, මොකද ඇත්ත කිව්වොත් මිනිස්සුන්ගේ උදව් මේකට ගන්න බැරි වෙනවනේ.
===: ඉතිං තමුසෙලා හිතුවේ නැද්ද මේ කරන බොරුව කවදාහරි එළිවෙයි කියලා.
^^^: දැනටමත් හුඟ දෙනෙක් දන්නවා අපි කරන්නේ බොරුව කියලා.
===: කවුද මේකට ආධාර කරන්නේ? මේ වැඩ නිකං කරන්න බෑනේ.
^^^: අලුතින් මේකට බැඳෙන අය අඩුම තරමින් රුපියල් දාහක් වත් දෙන්න ඕනේ. නැත්නම් බැඳෙන්න බෑ. සමහරු ඊටත් වැඩි ගණන් දුන්නා. පස්සෙත් සැරින් සැරේ අපෙන් සල්ලි ගත්තා. මේකේ වැඩ කරන අයට මුලදී දවසකට රුපියල් දෙසීය ගානේ දුන්නා. පස්සේ වැඩි කළා. අර චමින්දයා කරපු වැඩෙන් පස්සේ තමයි ඔක්කොම කණපිට හැරුනේ. කොහොමහරි ඌ කරපු දේ හරි. දැන් තමයි අපිට තේරෙන්නේ. සල්ලි දුන්නට පස්සේ හැම අළුත් සාමාජිකයෙක්ටම පන්ති පහකට සහභාගි වෙන්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. පන්ති පහට ආපු නැති කිසිම කෙනෙක්ව අපේ වැඩට සහභාගි කරගත්තේ නැහැ. මේ පන්ති පහෙන් තමයි අපේ මුළු වැඩ පිළිවෙළම හරියාකාරව තේරුම් ගන්න පුළුවන්.;
===: මොනවද ඒ පන්ති පහෙන් කියලා දුන්නේ.
^^^: ඉන්න සර්, මම සර්ට ඔක්කොම විස්තර කරලා කියන්නම්. පළවෙනි පන්තියෙන් විස්තර කරලා කියන්නේ සර්ගේ ආණ්ඩුවේ රස්සාව නැතිකරන එකේ වැදගත්කම. ඒකෙන් තමයි සර්ට වැඩිම ආදායමක් ලැබෙන්නේ. ඉතින් ඒක නැතිකරන එක තමයි අපේ පළවෙනි අරමුණ. ඒක කරන කං අපිට බිස්නස් කරන එක හීනයක් විතරයි. අවුරුදු දහයක් කරලත් තාම බැරිවුනා.මේකට සල්ලි දාපු අය පුළුවන් තරම් උදව් කරනවා. ඇතුළේ කීප දෙනෙකුත් ඉඩකඩම් එහෙම උගස් කරලා සල්ලි දාලා තියෙන හින්දා තමයි සර්ගේ පස්සේ ඔය තරම් එළවන්නේ. සර් ඔතන ඉන්න කිසිම කෙනෙක් ගැන විස්වාස කරන්න එපා. සර් සර් ගැන විතරක් විශ්වාසය තියන්න. සර් උගන්නන දේවල් වල මොකක් හරි වැරද්දක් අල්ලගන්න කියලා අපිට කියලා තිබුනේ. ළමයිට හොඳට තේරුම් ගන්න පුළුවන් අළුත් ක්‍රම කිසිදෙයක් පාවිච්චි කරන්න එපා කියලා තමයි සර්ට අවවාද කරේ. පොතක් පෙන්නලා මොනවා හරි කියලා දුන්නම ඒ ඇති කියලයි කිව්වේ. එතකොට ළමයට තේරුම් ගන්නත් බෑ, සර් දක්ෂ ගුරුවරයෙක් කියලා කවුරුවත් කියන්නෙත් නෑ. එතකොට ඕන වෙලාවක පෙත්සම් ගහලා රස්සාව නැති කරන්න පුළුවන්. හොඳට තේරෙන ක්‍රමවලින් කියලා දෙන්න ගියාම ළමයින්ගේ දැනුමත් වර්ධනය වෙනවා, සර්ටත් පිළිගැනීමක් එනවා. එතකොට තමයි අපේ එවුන් පරල වෙලා වලිගෙ ගිනි ගත්ත හනුමන්තා වගේ දඟලන්න පටන් ගන්නේ.
===: මටත් කාලෙක ඉඳන්ම තේරිලා තිබුනේ මේකට ඇතුලෙන් කීප දෙනෙකුත් සම්බන්ධයි කියලා. හොඳයි මොකද්ද දෙවෙනි පන්තියෙන් කියලා දෙන්නේ.
^^^: දෙවෙනි පන්තියෙන් කියලා දෙන්නේ සමාජ සම්බන්ධතා කඩලා බිඳලා දාන්න කියලා. විශේෂයෙන්ම ගෑණු අය එක්ක තියෙන සම්බන්ධතා සම්පූර්ණයෙන් නවත්වලා දාන්න කියලයි අපිට කියලා තියෙන්නේ. එහෙම සම්බන්ධතා ඇතිවුනොත් ඒක බිස්නස් කරන්න තියෙන ලොකුම බාධාව කියලයි අපිට කියලා තිබුනේ.
===: හොඳයි, මොකද්ද තුන්වෙනි පන්තියෙන් කියලා දුන්නේ?
^^^: තුන්වෙනි පන්තියෙන් කියලා දෙන්නේ අපි කරන හැම නීති විරෝධී වැඩක්ම සාධාරණයි කියලා හේතුවක් හදලා පෙන්නන්න කියලා. එහෙම නැත්නම් මිනිස්සු තුළ අපි ගැන නරක ආකල්ප ඇතිවෙයි කියලා කියලා තිබුනේ.
===: මොනවද හතරවෙනි පන්තියෙන් කියලා දෙන්නේ?
^^^: හතරවෙනි පන්තියට නම දාලා තිබුනේ ‘බාලගිරි දෝෂය’ කියලා. ඒ කියන්නේ කිසි දෙයක් නොදී ඉන්න කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන දේ තමයි කිසිදෙයක් නොදී හිටියම ඒවා ලබාගන්න තියෙන ආසාව නිසා අපිව බිස්නස් කරන්න අරගනියි කියන බලාපොරොත්තුව.
===: හොඳයි, දැන් පන්ති හතරක් ගැන කිව්වනේ. මොකද්ද අන්තිම පන්තියෙන් කියලා දෙන දේ?
^^^: ඒක නම් මට කියන්න මොකද්ද වගේ සර්. සර් පොරොන්දු වෙනවද මාව අල්ලලා දෙන්නේ නෑ කියලා.
===: කියනවා, කියනවා, තමුසේ ගැන බලාගන්නවා කියලා මම කලිනුත් කිව්වනේ.
^^^: අනේ, සර්. මේක ගැන නං මට කියන්න බෑ වගේ සර්.
===: කියනවා මනුස්සයෝ, හැමදේම වමාරපු එකේ ඕකත් කියලා දානවා.
^^^: පස්වෙනි පන්තියෙන් කියලා දුන්නේ අපි බිස්නස් කරන්න පටන්ගත්තට පස්සේ සර්ගේ අනාගතේ ගැන.
===: මොකද්ද මගේ අනාගතේ ගැන කියලා තිබුනේ?
^^^: අනේ, සර්. ඒක නං කියන්න බෑ, සර්.
===: මට හිතාගන්න පුළුවන්. බිස්නස් කරන්න ඇවිල්ලා ටික දවසකින් මට ගේම දෙන්න ඕන කියලා නේද?
^^^: ඔව්, සර්.
===: මට හිතුනා. කොහොමද ඒක කරන්න හිතාගෙන හිටියේ?
^^^: සැක නොහිතෙන විදියකට තමයි. පුළුවන් තරම් තපස් රකින්න කැලේකට යවන්න බලන්න කිව්වා. එහෙම නොගියොත් තීරණයක් ගන්න වෙනවා කියලා තමයි කිව්වේ. මොකද අපිට මෙතන දිගටම අයිති කරගන්න ඕන, නිධානේ ගොඩදාගන්න ඕනේ, ඒවට සර් හිටියොත් බාධා වෙනවා. සර්ගේ පවුලේ අනිත් අයත් මොනවා හරි හේතු හදලා යවන්න ඕන කියලා තමයි කතා වුනේ. කොහොමත් සර් නැතිවුනාම ඒගොල්ලෝ මෙතන තනියෙම ඉන්නෙත් නෑනේ. පස්වෙනි පන්තිය කරන්න ලොකු මහත්තයත් ආවා. අනිත් පන්ති කළේ නම් හෝටලේ පොඩි මහත්තයා. සර්ගේ දේපොල වල හොර ඔප්පු ඔක්කොම හදලා තිබුනේ. ඒවට අපේ කට්ටියේ ලෝයර් මහත්තයට හොඳ ගාණක් ගෙවුවා.
===: ලොකු මහත්තයා සල්ලිත් අරන් රට පැන්නට පස්සේ කවුද දැන් මේකේ නායකයා?
^^^: දැන් නායකයා පොඩි මහත්තයා. අර හෝටලයේ වැඩ කරන්නේ, එයාට වීඩියෝ ක්ලබ් එකකුත් තියෙනවා. එයා ඉගෙන ගෙන තියෙන්නෙත් සර් උගන්නන ඉස්කෝලෙම හින්දා වැඩේ ලේසියෙන්ම කරගෙන ගියා. ඒත් ළඟදී සර් එයාට ප්‍රින්සිපල්ගේ මාර්ගයෙන් අභියෝග කරලා තිබුණනේ පුළුවන් නම් ඒගොල්ලො කරන දේ හරි කියලා හැංගෙන්නේ නැතුව එළියට ඇවිත් සාකච්ඡාවෙන් ඔප්පු කරලා පෙන්නන්න කියලා. එදා ඉඳලා තමයි එයත් හැංගෙන්න පටන්ගත්තේ. සාකච්ඡා කරන්න ගියොත් බොරුව එළිවෙන එක වලක්වන්න බැරි හින්දා දැන් එයා ඉන්න තැනක් වත් අපි දන්නේ නෑ. ළඟදීම වෙන කාට හරි බාරදීලා මිනිහත් රට පනියි.
===: හරි, දැන් ඔයා එහෙනම් යන්න. මට ඔයාගේ ටෙලිෆෝන් නොම්මරේ දෙන්න. මම ඔයාට ආයෙත් දවසක කතා කරන්නම්.
^^^: අනේ බොහොම ස්තුතියි සර්, මාව බේරුවට. මට කරපු බලු වැඩේ හින්දා තමයි මේ සේරම කිව්වේ. නැත්නම් කවදාවත් කියන්නේ නෑ. උන් දැන් මාව මැරුවත් කමක් නෑ. මට ඕන වුනේ උන්ගෙන් පළිගන්න. මම ගිහින් එන්නම් සර්.
සුරංග යන්න ගියා. කවදාවත් හිතපු දෙයක්ද මේ සිද්ධ වුනේ? එදා ආපු සුරංගයි අද ආපු සුරංගයි කොයි තරම් වෙනස්ද. හැබැයි සුරංග නම් තාමත් බොරුව එළි නොවුන නම් කැමති ඇති. ඒත් එයාට දැන් තියෙන්නේ පළිගැනීමේ චේතනාවක් මිසක් පරම්පරාව ගොඩ දාන චේතනාව නෙවෙයි. එයා කියපු හැම දේම මම පටිගත කරලා තියෙන බව එයා දන්නේ නැතුව ඇති. එයා ආයෙත් නාවත් දැන් ඒ බව ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා.
No comments:
Post a Comment